තලෛමන්නාරමේ සිට දකුණු ඉන්දියාවට මගී හා භාණ්ඩ ප්‍රවාහන කටයුතු ඇරඹේ

February 19, 2019

කන්කසන්තුරේ හා තලෛමන්නාරමේ සිට දකුණු ඉන්දියාව දක්වා මගී සහ බඩු භාණ්ඩ ප්‍රවාහන බෝට්ටු සේවයක් ඇරඹීමට රජය තීරණය කර තිබේ.

ඒ සඳහා කන්කසන්තුරේ වාරය නවීකරණ කටයුතු සඳහා දැනටමත් මුල පුරා ඇතැයිද තලෛමන්නාරම ජැටිය ප්‍රතිසංස්කරණය කිරීමේ සැලසුම් ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් නොබෝ දිනෙකින් සකස් කිරීමට නියමිතව ඇතැයිද අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය.

මෙම මගී ප්‍රවාහන නාවික සේවාවන් ආරම්භයත් සමග, ඉන්දීය හා ශ්‍රී ලංකා දුම්රිය සේවා ඒකාබද්ධව ප්‍රවාහන කටයුතු සිදු කිරීමේ හැකියාව පිළිබඳව සොයා බැලීමට ද තීරණය කර තිබේ.

ඒඅනුව කොළඹ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ගමනාන්ත තවත් වැඩි කෙරෙන අතර එතැන් සිට දකුණු ඉන්දියාවට බෝට්ටු මගින් ප්‍රවාහන පහසුකම් සැපයීමට තීරණය කර තිබේ.

මෙම සේවවාන් ආරම්භ කිරීමත් සමග අඩු වියදමින් දඹදිව වන්දනා කිරීමටද ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාවට අවස්ථාව උදාවනු ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාල ප්‍රකාශකයා සඳහන් කළේය.

උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹීමට පෙර දමේ අයුරින් ශ්‍රීලංකාව  සහ ඉන්දියාව අතර ඒකාබද්ධ දුම්රිය සේවාවන් පැවති බවත් කොළඹ කොටුවේ සහ චෙන්නයි නුවර අතර එක් ප්‍රවේශ පත්‍රයකින් ගමන් කිරීමේ පහසුකම් දෙරටේම මගීන් වෙත සලසා තිබූ බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.

කන්කසන්තුරේ වරාය නවීකරණයේ දී දැනට ඇති ජැටිය පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කෙරෙන අතර, වාණිජ මෙහෙයුම් කටයුතු සඳහා මීටර 167 ක් දිගැති, මීටර 22 ක් පළලැති නව ජැටියක් ද ඉදි කෙරෙණු ඇතැයිද දියකඩනය ද ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත අතර මේ කාර්යයන් සඳහා ඉන්දීය සහන ණය යෝජනා ක්‍රමය යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 45.27 ක ප්‍රතිපාදන ලැබෙනු ඇතැයි වරාය හා නාවික දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවැසීය.

කන්සන්තුරේ පැරණි සිමෙන්ති කම්හල් පරිශ්‍රයේ නව කර්මාන්ත කලාපයක් ද වරාය නවීකරණයට සමගාමීව ඉදිකිරීමට නියමිතව ඇති අතර කන්කසන්තුරේ ප්‍රදේශය සංචාරක කලාපයක් ලෙස ද සංවර්ධනය කරලීමේ සැලසුම් සංචාරක අමාත්‍යංශය විසින් සකස් කරනු ලැබ ඇතැයි අග්‍රාමාත්‍ය රනිල්වික්‍රමසිංහ මහතා ඉකුත් උතුරු සංචාරය අතරතුර මාධ්‍යට අදහස් දක්වමින් සඳහන් කළේය.

තලෛමන්නාරමේ ජැටිය ආශ්‍රිතව ද නව සංචාරක හෝටල් හා ආපන ශාලා ගණනාවක් ද, භාණ්ඩ ගබඩා හා ගුදම් ද ඉදි කිරීමේ සැලසුම් වහා සකසන ලෙසද අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබේ.

 

t

o

p