එජාපයේ ලොකුම පෙරළිය බණ්ඩාරනායක මහතාගේ පක්ෂයේ මහලේකම් ජනපති පොදු අපේක්ෂකයා කිරීමයි

October 25, 2018

ඩි.එස් සේනානායක මහතා විසින් ආරම්භ කරනු ලැබු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති සහ ගමන් මග ප්‍රථමයෙන් වෙනස් කරනු ලැබූවේ පක්ෂ නිර්මාතෘගේ පුත්‍රයා වන ඩඩ්ලි සේනානායක මහතා බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන, මහනුවර සංවර්ධන අමාත්‍ය සහ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂ නිර්මාතෘ ඩි.එස් සේනානායක මහතා එක්සත් ජාතික පක්ෂය ආරම්භයේදි ඇති කළ ප්‍රතිපත්ති සහ ගමන් මඟ වර්ෂ 1962 කලූතරදී පැවැති සමුළුවේදි ඩඩ්ලි සේනානායක මහතා විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි සංකල්පයට මාරු කළේයැයිද සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීවේය.
එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්වීමෙන් පසු 1973 දි ජේ.ආර්. ජයවර්ධන මහතා නැවතත් පක්ෂය අලූත් මාවතකට ගෙනයාමට පියවරගත් අතරම රණසිංහ ප්‍රේමදාස මහතා ඒ ගමන දිගටම ගෙන ගිය බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පෙන්වා දුන්නේය.
එක්සත් ජාතික පක්ෂය යළි පරාජයට පත්වීමත් සමඟ පක්ෂයේ  වගකීම් භාරගත් රනිල් වික්‍රමසිංහ මහතා හම්බන්තොට සමුළුව පවත්වා පක්ෂ ප්‍රතිපත්ති වර්තමානයට ගැලපෙන පරිදි වෙනස් කළේ යැයිද සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂ ඉතිහාසයේ වූ ලොකුම පෙරළිය සේනානායකලාට විරුද්ධව ගොස් පිහිටවු බණ්ඩාරනායක මහතාගේ පක්ෂයේ මහලේකම්වරයා ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරිම බවද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීවේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ මැතිඇමතිවරු කණ්ඩායමක් සමඟ අරලියගහ මන්දිරයේ පැවැති සුහද කතාබහකදී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉහත අතිතය සිහිපත් කර සිටියේය.

t

o

p