එජාපයේ සේනානායකලා නැති වගේම ශ්‍රීලනිපයේත් බණ්ඩාරනායකලා නැහැ

October 24, 2018

කවුරුන් හෝ අද ඩී. එස්. සේනානායක හෝ බණ්ඩාරනායකගේ දේශපාලනය කරන්න යනවා නම් ඔහු පිස්සෙක් විය යුතු යැයි ප්‍රාදේශීය සංවර්ධන සහ වනජීවී අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මාධ්‍ය හමුවකදී ඊයේ (23) පැවසීය.
අද එක්සත් ජාතික පක්ෂයේ ඩී. එස්. සේනානායකලා නැහැ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායකලා නැතැයි ද සරත් ෆොන්සේකා මහතා කීය.
වර්තමානයේ කවුරුන් හෝ ඩී. එස්. සේනානායක හෝ බණ්ඩාරනායක වෙන්නට හදනවා නම් එය හාස්‍යයට ලක්විය යුතු කරුණක් බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
2014 වසරේ තමා පොදු අපේක්ෂකයා ලෙස එජාපය සමඟ සන්ධානගත වන විට බලාපොරොත්තු වූ ඩී. එස්, ඩඩ්ලි සේනානායකගේ එජාපය එහි නැති බව තේරුණේ පසුව යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කළ ප්‍රකාශයක් පිළිබඳව මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සරත් ෆොන්සේකා මහතා මේ බව පැවසීය.
“මේවා ඇහෙනකොට මට හිනාත් යනවා. ඩී. එස්. සේනානායකලා කළ දේශපාලනය වෙනස්. බ්‍රිතාන්‍යයන් මෙරට පාලනයට ඇඟිලි ගසන සමයේ මෙරට ප්‍රභූ පැලැන්තිය වන ඩී.එස්.සේනානායක, බණ්ඩාරනායක වැනි අය පෙළ ගැසී දේශපාලනය කළා. අද ඒ දේශපාලනය කවුරුන් හෝ කරන්න ගියොත් ඔහුට පිස්සු යැයි ජනතාව සිතාවි.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් වෙමින් ආර්. ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග වැනි අය නායකත්වයේ සිටියා. ඒ අය ප්‍රභූ පැලැන්තියෙන් හෝ වලව් වලින් ආ අය නෙවේ. නමුත් එක්සත් ජාතික පක්ෂයට ජනතාව ඡන්දය දුන්නා. වර්තමානයේ කව්රුන් හෝ ඩී. එස්.සේනානායක හෝ බණ්ඩාරනායක වෙන්න හදනවා නම් එය හාස්‍යයට ලක්වියයුතු කරුණක්” බව ද සරත් ෆොන්සේකා මහතා කීය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

t

o

p