අමරා රණතුංග අභාවය මුළු රටටම මහත් පාඩුවක් – අගමැති රනිල් වික්‍රමසිංහ

October 18, 2018

ප්‍රවීණ ගායිකා අමරා රණතුංග මහත්මියගේ අභාවය ලාංකේය සංගීත ක්‍ෂේත්‍රයට මෙන්ම සමස්ත දේශයටම බරපතළ හිඩැසක් ඇති කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අමරා රණතුංග මහත්මියගේ අභාවය පිළිබඳව ශෝක පණිවුඩයක් නිකුත් කරමින් අගමැතිවරයා ඒ බව සඳහන් කර ඇත.
එහි මෙසේද දැක්වේ.
නොමැරෙන යම් කෙනෙකු වේද ඒ නම මට හිමි යැයි ගැයූ ඇය, භෞතිකව අප අතරින් සමුගත්තද ලාංකේය සංගීත ක්‍ෂේත්‍රයට ලබාදුන් අමිල දායකත්වයත්, සොඳුරු ගීත සමුදායත් හේතුවෙන් ඒ ගැයුම යථාර්ථයක් කරමින් ඇගේ නාමය මෙරට රසික හදවත් තුළ අමරණීය වන බව නිසැකය. ඇය නමින් අමරා රණතුංග නම් වන්නීය. ප්‍රවීණ සංගීතවේදී මහාචාර්ය අමරා රණතුංග මහත්මිය ලාංකේය සංගීත ක්‍ෂේත්‍රයේ ප්‍රථම මහාචාර්යවරියද වන්නීය. සංගීත ගුරුවරියක ලෙස ස්වකීය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඇය පසුව කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය වරියක මෙන්ම පීඨාධිපතිනියක ලෙස ද කටයුතු කර ඇත.
ගුවන් විදුලියේ ළමා පිටියෙන් සංගීත ක්‍ෂේත්‍රයට පිවිසි අමරා රණතුංග මහත්මිය එහිදීම දැන හඳුනාගත් ප්‍රවීණ සංගීතඥ දයාරත්න රණතුංගයන් සමග විවාහපත්ව අඩසියවසක් ඉක්ම වූ දීර්ඝ කාලයක් ජීවන යුග ගීතය ගයන අතරම, ගායන ලොවේ සදානුස්මරණීය මතකයන් රන්දන ගීත රැසක් රසික සමාජය වෙත තිළිණ කළාය.
ලාංකේය සංගීත කේෂ්ත්‍රයේ අමරාදේවිය වූ අමරා රණතුංග මහත්මිය භාරතීය රාගධාරී සංගීතයත්. දක්ෂිණ භාරතීය කර්ණාටක සංගීතයත්, හෙළ සංගීත සම්ප්‍රදායන් මෙන්ම බොහෝ විදෙස් සංගීත සම්ප්‍රදායන් පිළිබඳවද හසල දැනුමින් පිරිපුන්ව ස්වකීය ගුරු භූමිකාවද, ගායන පෞරුෂයද ඔප් නංවාගත් විශිෂ්ට කලාකාරිනියකි.
ඇයගේ අභාවය ලාංකේය සංගීත ක්‍ෂේත්‍රයට මෙන්ම සමස්ත දේශයට බරපතළ හිඩැසක් ඇති කරන බව විශේෂයෙන් සිහිපත් කරමින්, ශෝකයට පත් ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය දයාරත්න රණතුංග මහත්මා, දූ පුතුන් ඇතුළු පවු‍ලේ සැම සහ රසික සමාජය සමග මාගේ බලවත් සංවේගය බෙදාහදා ගනිමි.

t

o

p