ලැබෙන ආධාර මුදල් වලට සුබ සාධනයක් නෑ ; ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයට චෝදනා

October 16, 2018

ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයට දේශිය හා විදේශිය වශයෙන් ලැබෙන ආධාර මුදල්වලට සාපේක්ෂව ප්‍රමාණවත් සමාජ සුබ සාධනයක් නොකෙරෙන බැවින් එහි ප්‍රධානියෙක් ඇතුළු කණ්ඩායමකට එරෙහිව විමර්ශනයක් ආරම්භ කරන ලෙස ඉල්ලා සමජ සුබසාධන සහ ප්‍රාථමික කර්මාන්ත ඇමති දයා ගමගේ මහතා වෙත ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් පැමිණිලි කර ඇත.
ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරින් සිය පැමිණිලිවලින් ඉල්ලා ඇත්තේ එකම නිලධාරි කණ්ඩායමක් එම සංවිධානයේ බලය අල්ලාගෙන සිටින නිසා මේ තත්ත්වය උදාවී ඇති බැවින් කඩිනමින් පරික්ෂණයක් පවත්වා අවශ්‍ය පියවර ගන්නා ලෙස ය.
විශේෂ සහ පුළුල් විමර්ශනයක් මගින් මේ සම්බන්ධයෙන් කරුණු සොයා බලා සංවිධානයට ලැබෙන දේශිය හා විදේශිය ආධාර නිසි ලෙස සමාජ සුබ සාධනයට යෙදවිමටත් පොදුවේ සැමට වරින් වර එම සංවිධානයේ නිලධාරී මණ්ඩලයට තේරි පත්විය හැකි ක්‍රමවේදයක් සකස් කරන ලෙසද ඉල්ලා ඇති බව එම  පැමිණිලිවල සඳහන්වේ.
එදා සිට මේ දක්වා රතු කුරුස සංවිධානයට මුල්‍ය චෝදනා ඇතුළු විවිධ චෝදනා එල්ල වී ඇති අතර මෙම ප්‍රධානියාගේ නායකත්වය යටතේ එම සංවිධානයට ඉතිහසයේ එල්ල වූ බරපතලම චෝදනාව වන්නේ ජාත්‍යන්තරව පිළිගත් ස්වේච්ඡා සංවිධානයක් ලෙස ස්වාධිනත්වය, අපක්ෂපාති භාවය, දේශපාලන න්‍යාය පත්‍රවලින් තොරවීම, ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය සහ සාමය ඇතුළු ලොව පිළිගත් යහපාලන මූලධර්ම ඇතුළු සිය සීමා මායිම් ඉක්මවා එවකට පැවැති මහින්ද රාජපක්ෂ පාලනයට විවිධ අයුරින් උදව් උපකාර සහ අනුග්‍රහය දක්වමින් සංවිධානය දේශපාලනීකරණය කිරීමය.
දකුණු පළාත සහ බස්නාහිර පළාත නියෝජනය කරන වත්මන් රජයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රබල අමාත්‍යවරුන් දෙදෙනෙකු මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිටම මේ ක්‍රියාදාමයට සහාය පළ කරමින් මෙම ප්‍රධානියා ඇතුළු නිලධාරි මණ්ඩලය හරහා රතු කුරුස සංවිධානය සිය දේශපාලන අවශ්‍යතා මත මෙහෙයවමින් සිටින බවට ද එම පැමිණිලිවලින් දක්වා ඇත.

t

o

p