ව්‍යසන වලින් බේරීමට සැවම එක් වී යාන්ත්‍රණයක් හදමු – කතානායකගෙන් ඉල්ලීමක්

June 6, 2017

ලංකාව භයානයක ව්‍යසනවලට ගොදුරු නොවිමට මනා අධ්‍යයනයකින් පසුව යෝජිත සැලැස්මක් හා යාන්ත්‍රණයක් සකස් කිරිමට අපි සැවොම මේ රට වෙනුවෙන් ඉදිරිපත්වීමට සුදුසු කාලය එළඹතිබෙන බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදි අද (06) ප්‍රකාශ කළේය.
ගංවතුර ව්‍යසනය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් කතානායකවරයා මේ බව කීවේය. ව්‍යසනයෙන් පීඩාවට පත් ජනතාවට ශෝකය පළ කරමින් කතානායකවරයා මෙසේද කීය.
පසුගිය දින කිහිපය තුළ ඇද හැළුණු ධාරානිතපාත වර්ෂාව හේතුවෙන් අප දිවයිනේ දිස්ත්‍රික්ක අටකට ඇති වූ බරපතල ගංවතුර ආපදාව නිසා ඉතිහාසයේ පෙර නොවු විරූ අයුරින් 200 කට අධික වටිනා මිනිස් ජීවිත සංඛ්‍යාවක් අහිමිවීමත්, දහස් සංඛ්‍යාත පිරිස් අවතැන්විමත්, සිදුවු විශාල දේපලහානියත්, පිළිබඳව දැඩි කම්පාවෙන් සිහිපත් කරන අතර මෙලෙස අභාග්‍ය සම්පන්න ලෙස ගංවතුර හා විවිධ ස්ථානවල ඇති වු නායයාම් හේතුවෙන් මෙලොවින් වියෝ වූ ඒ අහිංසක, අසරණ ජිවිත වෙනුවෙන් පාර්ලිමේන්තුවේ සාතිශය සංවේගය පළ කිරිමට මම මෙය අවස්ථාවක් කර ගනිමි.
අපගේ පාලනයෙන් තොරවූ, මෙම ස්වභාවික විපත්තියෙන් අන්ත, අසරණ වූ ජන ජිවිත යලිත් යථා තත්ත්වයට පත් කිරිමේ ඒකායන පරමාර්ථයෙන් මානවිය දයා කරුණාව පෙරදැරි කරගෙන නිල රාජකාරියට වඩා පරිත්‍යාගශිලි ලෙන්ගතුකමකින් කාලය, ශ්‍රමය වැය කරමින් ඉදිරිපත් වී මේ වන විටත් කටයුතු කරමින් සිටින ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු සියළුම ආරක්ෂක අංශවලටත්, රාජ්‍ය සේවයේ නිලධාරි මහත්ම මහත්මීන්ටත්, ඊට සම්බන්ධවූ අනෙකුත් සියළුම ආයතන, විවිධ සංවිධාන, පුද්ගලයින්ටත් පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස මාගේ හෘදයාංගම කෘතඥතාවය ඒ සෑම සියලූ දෙනා වෙනුවෙන්ම පළකර සිටින බව මෙහිලා සඳහන් කරමි.
එම ප්‍රජා සේවා කටයුතුවල නියැලීමේදි අවාසනාවන්ත ලෙස ජිවිතක්ෂයට පත්වූ එම ගුවන් හමුදා නිලධාරියා ඉතාමත් සංවේදීව සිහිපත් කරන අතරම එම නිලධාරියාගේ දේහයට පාර්ලිමේන්තුව වෙනුවෙන් අවසන් ගෞරව දැක්වීමටද මට හැකිවූ බව ප්‍රකාශ කරමි.
තවද විවිධ වූ මාධ්‍ය ආයතන, මාධ්‍ය වාර්තා කිරිමෙන් ඔබ්බට යමින් අවතැන්වූ අසරණ වූ තම සහෝදර ජනතාව වෙනුවෙන් ආධාර ලබා දෙමින්සහන සැලසීමෙන් කළාවූ උත්තුංග කාර්ය වෙනුවෙන් සියළුම මාධ්‍ය ආයතනවලටත්, ස්වේච්ඡා සංවිධානවලටත්, අනෙකුත් පරිත්‍යාගශිලින්ටත්, මාගේ කෘතවේදිත්වය පිරිනමමි.
රුදුරු ගංවතුර උවදුරින් උන් හහිටටිතැනන් අහිමි වී, අන්ත අසරණ වූ ජනතාවට කිසියම් හෝ සහනයක් ලබාදීමට මා ගිය සෑම තැනකදීම ආණ්ඩු පාර්ශවයේ සහ විරුද්ධ පාර්ශවයේ සියලූම පාර්ලිමේන්තු ජනතා නියෝජිතන් අවධාරණය කරමින් පවසා සිටියේ පක්ෂ පාට, පටු බෙදිම් පසෙක ලා ඉදිරියේදි මෙවැනි ඛේදවාචකයන්ට මුහුණදීමටත්, ජිවිත, දේපල හානි අවම කර ගැනීමටත්, ආපදා කළමනාකරණය වෙනුවෙන් යෝග්‍ය යාන්ත්‍රණයක් සකස් කිරිම ඉතාමත් කාලෝචිත බවය.
අප දිවයිනේ ඉදිරි පරම්පරාවටත්, නූපන් පරපුරටත්, මෙවන් භයානයක ව්‍යසනවලට ගොදුරු නොවිමට මනා අධ්‍යයනයකින් පසුව යෝජිත සැලැස්මක් හා යාන්ත්‍රණයක් සකස් කිරිමට අපි සැවොම අපගේ මේ කුඩා රට වෙනුවෙන් ඉදිරිපත්වීමට සුදුසු කාලය එළඹතිබෙන බව මොනවට පැහැදිලි වෙයි.
මෙවැනි ක්‍රියාකාරකම් වෙනුවෙන් අති විශාල මුදලක් අවශ්‍යවූවත්, අපේ රට අද ලෝකයේ හොද හිත, සුහදත්වය අත්පත් කරගත් යහපත් රාජ්‍යයක් ලෙස එවැනි මුල්‍ය ප්‍රතිපාදන සොයා ගැනිම දුෂ්කර කාර්යයක් නොවන බව මාගේ එකම විශ්වාසයයි.
එම නිසා පාර්ලිමේන්තුව නියෝජනය කරන සැබෑ, සංවේදි ජනතා නියෝජිතයන් ලෙස අප සැවොම එකට එකමුතු වී අත්වැල් බැඳගෙන මෙම පොදු අරමුණ වෙනුවෙන් සුදුසු ඉක්මන් වැඩපිළිවෙලකට අවතීරණ වීමට අධිෂ්ඨාන කර ගනිමු.

t

o

p