පක්ෂ නායකයන් එකඟ වූ පසු පළාත් පාලන ඡන්දය පැවැත් වෙනවා – අගමැති රනිල්

May 24, 2017

පළාත් පාලන ඡන්ද ක්‍රමයට සංශෝධන 54 ක් ඉදිරිපත්ව තිබෙන නිසා පක්ෂ නායකයන් රැස්වී ඉක්මණින් එකඟතාවයකට පැමිණි පසු ඡන්දය පැවැත්විය හැකි බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (23) ප්‍රකාශ කළේය.
පළාත් පාලන මැතිවරණ පනත සම්බන්ධයෙන් වන ආණ්ඩුවේ කටයුතු මේ වන විට අවසන් කර ඇති බවත් පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ එකඟතාවය පමණක් මේ වන විට ඒ වෙනුවෙන් අවශ්‍යව තිබෙන බවත් අගමැතිවරයා කීවේය.
ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව කීවේය. ස්ථාවර නියෝග 23/2 යටතේ ප්‍රශ්නයක් මතු කරමින් දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද කීය.
මැතිවරණ කොමිසමට අනුව ලංකාවේ මිලියන 15 ක් පමණ ඡන්ද දායකයින් සංඛ්‍යාවක් ඉන්නවා. ඒ පිරිසට මේ වන විට මැතිවරණයක් නොමැති ඡන්දදායකයින් පිරිසක් බවට පත් වෙලා. 6000 ක් පමණ වන පළාත් පාලන ආයතන නියෝජිතයෝ පිරිසක් පත් කර ගන්න අද අවස්ථාව නැහැ.
පළාත් සභා හා පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාපා මහතා කියලා තියෙනවා අවශ්‍ය උපදෙස් ලද පසු ඡන්දය පවත්වනවා කියලා. රජය ඇයි මැතිවරණ කොමිසමට පළාත් පාලන ආයතන ඡන්දය පවත්වන්න බලය ලබා නොදෙන්නේ. පළාත් පාලන මැතිවරණය පැවැත්විම කල් දමා මේ වන විට වසර දෙකක් ගත වෙලා තියෙනවා.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා –
ජනාධිපතිවරයා පවා කිව්වා මේ වසරේදි ඡන්දය තියෙන්න අවශ්‍යයි කියලා. පළාත් පාලන මැතිවරණ ආ ඥා පනත යටතේ වන ඡන්ද කොට්ඨාශ ගැසට් කිරිමේ නිවේදනය ඉකුත් පෙබරවාරි 17 දා නිකුත් කලා. අවසානයේ මේ කොට්ඨාශ නිර්නය කිරිමේ සංශෝධන පනතට ඇතුළත් කරන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය හිමි වෙලා තියෙනවා.
එම සංශෝධන සම්බන්ධයෙන් පක්ෂ නායකයන්ද එකඟතාවයකය පැමිණිය යුතුයි කියලා ඉල්ලීම් තියෙනවා. සභාවේ ස්ථාවරය අනුව තමයි අපට ඉදිරි කටයුතු කරන්න තියෙන්නේ. ආණ්ඩුවට කරන්න තියෙන කටයුතු මේ වන විට කර අවසන් කර තිබෙනවා. පක්ෂ නායකයන් ලෙස අප මේ සතියේ රැස්වී අවසන් තීරණයක් ගනිමු.
දිනේෂ් ගුණවර්ධන මහතා – පළාත් පාලන ඡන්දය තියන්නේ නැහැ කියලද ඔය කියන්නේ.
අගමැති – නැහැ නැහැ විවිධ පක්ෂ මේ සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා පක්ෂ නායකයෝ මේ සතියේ රැස්වෙලා ඒ අය කැමතිද නැතිද කියලා තිරණයක් ගනිමු. පක්ෂ නායක අදහස් අරගෙන එකඟත්වයකට එන්න ඕනේ.
දිනේෂ් ගුණවර්ධන මහතා – පක්ෂ නායකයන්ට අයිතියක් නැහැ මේ කාරණය සම්බන්ධයෙන් මැදිහත් වෙන්න. පවතින නිතිය යටතේ තමයි ආණ්ඩු කටයුතු කරන්න ඕනේ.
අගමැති – පළාත් පාලන ඡන්ද පනතට සංශෝධන 54 ක් ඉදිරිපත් වෙලා තියෙනවා. පක්ෂ නායක මතය ලද පසු අපි එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය අරගෙන දැනුම් දෙන්නම්. පක්ෂ නායකයෝ කැදවලා ඔවුන්ගේ අදහස් ගන්න එපා කියලාද කියන්නේ. ඒකත් අපි කියන්නම්.

t

o

p