තරුණ සේවා සභාවෙන් දේශපාලනය ඉවත් කිරීමට අප කටයුතු කළා

May 23, 2017

ශ්‍රී ලංකාවේ බිම්මට්ටමේ තරුණ නායකයින් සියලූම දෙනා අද මෙහි රැස්වී සිටිනවා. අද මෙහි පැමිණ සිටින්නේ තම ගමට නායකත්වය දෙමින් වැඩකළ තරුණයන්ගෙන් ප්‍රධානම පිරිසයි. ඔවුන් කළ සේවය වෙනුවෙන් ත්‍යාග සහතික ප්‍රදානය කිරීම ද අද සිදු කෙරෙනවා. 2015 වසරේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වූ පසුව නැවත වරක් තරුණයන්ට තැන දෙන වැඩසටහන් ඇති කිරීමට තීරණය කර තරුණ සේවා සභාව පණගැන්වීමට කටයුතු කළා.

තරුණ සේවා සභාවෙන් දේශපාලනය ඉවත් කිරීමට අප කටයුතු කළා. දේශපාලනය කරන්නට පක්‍ෂ තිබෙනවා. තරුණ සේවා සභාවෙන් දේශපාලනය කළ යුතු නැහැ. ඒ අනුව අප ගම්මානවල ‍යෞවන සමාජ ආරම්භ කළා. ‍යෞවන පාර්ලිමේන්තුව ආරම්භ කළා. එම තීරණවලින් තාරුණ්‍යය තවත් ඉදිරියට යනවා. ‍යෞවන සමාජ සංඛ්‍යාව වැඩිකළ යුතු බව මා එහි සභාපතිවරයාට දැනුම් දී තිබෙනවා. එමෙන්ම යොවුන් පාර්ලිමේන්තුව තවදුරටත් ශක්තිමත් කළ යුතුයි. තරුණ නායකයින් වැඩි වශයෙන් මේ සඳහා එකතු කර ගත යුතුව තිබෙනවා. ගම්මට්ටමේ පමණක් නොව සෑම ක්ෂේත්‍රයකටම නායකත්වය දෙන තරුණ නායකයන් ඒකරාශි කරන වැඩසටහනක් තරුණ සේවා සභාවෙන් ඉදිරිපත් කළ යුතුයි.

ගමට කෝටියක් වැඩසටහන යටතේ ලබාදෙන මුදල් ප්‍රමාණය වැඩිකිරීමට ද අප තීරණය කර තිබෙනවා. එම වැඩසටහන තුළින් ද තරුණ නායකයන් බිහිවෙනවා. තරුණ තරුණියන් ඒකරාශී කිරීමේ වැඩසටහනක් ආරම්භ කෙරුණේ දශක දෙකකට පසුවයි. අප තරුණයන් ඒකරාශී කරන්නේ ඉදිරියට ගොස් අලූත් සමාජය ඔවුන්ට ලබාදීමටයි.

තරුණයන් ඒකරාශී කිරීමේ කාර්යයේදී ඔවුන්ගේ අනාගතය පිළිබඳ අවධානය යොමු කිරීමට අපට විශේෂ වගකීමක් තිබෙනවා. රැකියා බිහිකිරීම, ආදායම් මාර්ග ඇති කිරීම ආදී අංශ පිළිබඳවත් අපගේ අවධානය යොමු වී තිබෙනවා. ඒ සියලූම කාර්යයන් කිරීමට නම් මෙරට සාමය සහ සමගිය ස්ථාපිත වී තිබිය යුතුයි.

Ranil-youth-day1

ජාතික තරුණ දින සැමරුම් උත්සවයේ ප්‍රධානම ත්‍යාගයන් යාපනය දිස්ත්‍රික්කයෙන් දිනාගැනීම පිළිබඳව මා සතුටට පත් වුණා. වසර 15 කට පෙර මේ තරුණ දිනයක් පැවැත්වූවා නම් යාපනයේ කිසිවෙකුත් එන්නේ නැහැ. 1985 වසරෙන් පසුව උතුරේ වැඩසටහන් සියල්ලම කඩාකප්පල් වුණා. උතුරේ තරුණයන් රට අතහැර ගියා. උතුරු යුද්ධ ප්‍රදේශයක් බවට පත් වුණා.

මා පසුගිය සති අන්තයේ යාපනය සහ මන්නාරම ප්‍රදේශවල සංචාරය කළා. නැවත සාමය ස්ථාපිත වී ඇති අයුරු මට එහිදී දැකගන්නට ලැබුණා. තවත් ඉදිරියට කළ යුතු විශාල වැඩකොටසක් තිබෙනවා. අද උතුරේ ත්‍රස්තවාදයක් නැහැ. තරුණයන්ට බලාපොරොත්තුවක් ඇති කිරීමට නම් උතුරට සංවර්ධනය ගෙන යා යුතුයි. අනෙක් අතින් එකමුතුකම ඇති කළ යුතුයි.

දේශපාලන පක්‍ෂ ලෙස අප දැන් එකතුවී සිටිනවා. මෙරට දීර්ඝකාලීන විසඳුමක් තිබෙන එකඟත්වයකට පැමිණෙන්නේ කෙසේදැයි කල්පනා කළ යුතුයි. අපගේ නව ව්‍යවස්ථාව එම එකමුතුකම ඇති කිරීම සඳහා පදනමක් කර ගන්නේ කෙසේද? අප ඒ කාරණා ඉටුකර රට ඉදිරියට ගෙන යනවා. නැවතත් යුද්ධයක් ඇතිවීමට ඉඩ දෙන්න බැහැ. මෙරට සමගිය නැති නම් සංවර්ධනයක් නැහැ.

1983 වසරේදී අපට පිටුපසින් සිටින රටවල් ගණනාවක් දැන් ඉදිරියට ගොස් සිටිනවා. ඉන්දුනීසියාව, තායිලන්තය, වියට්නාමය ආදී රටවල් සියල්ලම අප පසු කර ඉදිරියට ගිහින්. බංගලාදේශය අප ආසන්නයටම පැමිණ සිටිනවා. අපේ පිටුපසින් සිටින්නේ මියන්මාරය, ඇෆ්ගනිස්ථානය, ලාඕසය, කාම්බෝජය යන රටවල් පමණයි.

එසේ වී ඇත්තේ කුමක් නිසාද? යුද්ධයෙන් සහ අසමගියෙන් අප බෙදී සිටියා. යුද්ධයක් තිබුණේ නැති නම් අද අප ඉහත සියලූම රටවල්වලට වඩා ඉදිරියෙන් සිටිනවා. යාපනයේ තරුණ තරුණියන් මෙවැනි උත්සවයකට සහභාගීවීම සුභ ලකුණක්. ඒ සමගිය ආරක්‍ෂා කොට ඊළඟ වසර 10, 15 ඇතුළත රට ශීඝ්‍ර දියුණුවකට ලක් කළ යුතුව තිබෙනවා. එම සමගිය ආරක්‍ෂා කිරීමේ කාර්යයට යම් තර්ජනයක් එල්ල වේ නම් එය වහාම නවතා දැමිය යුතුයි.

Ranil-youth-day2

ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්ධනය කොට ඉදිරියට යෑමට අප සැලසුම් සකස් කළ යුතුයි. එක් පැත්තකින් අපට ජාත්‍යන්තරයෙන් විශාල සහයෝගයක් ලැබී තිබෙනවා. මේ මාස කිහිපය ඇතුළත අපට ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය ලැබුණා. ජපානය අපට උපකාර කිරීමට ඉදිරිපත්වී සිටිනවා. ඉන්දියාවෙන් උදව් උපකාර ලැබෙනවා. අලූතින් එල්.එන්.ජී. විදුලි බලාගාර ඉදිකිරීමට, කොළඹ දියුණු කිරීමට, ත්‍රීකුණාමලය දියුණු කිරීමට, මහනුවර දියුණු කිරීමට, ඊසාන දිග ආර්ථික කලාපය ඇති කිරීමට එම රටවල් උපකාර කරනවා.

මා ළඟදී චීනයේ සංචාරය කළා. චීන රජය අපට ඩොලර් මිලියන 300 ක ප්‍රදානයක් දුන්නා. අප දැන් කොළඹ මූල්‍ය නගරය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. හම්බන්තොට වරාය ආශ්‍රිතව විශාල කර්මාන්තකරණයක් ඇති කරනවා. සංචාරක ව්‍යාපාරය දියුණුවට පත් කරනවා. මේ සියල්ලටම වඩා අපනයන ආදායම වැඩි කර ගැනීම සඳහා ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය බෙහෙවින්ම උපකාරී වනවා.

රාජපක්‍ෂ සමයේ ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය අප රටට අහිමි වුණා. එහි වාසිය බංගලාදේශය විසින් අත්පත් කර ගත්තා. දැන් අපට නැවතත් ජී.එස්.පී. ප්ලස් සහනය ලැබී තිබෙනවා. එයින් ප්‍රයෝජන ගෙන ව්‍යාපාර ඇති කර ශීඝ්‍ර දියුණුවකට ගමන් කළ යුතුයි. ඒ දියුණුවේ පදනම කුමක්ද? දේශපාලන දියුණුව, ප්‍රජාතන්ත්‍රවාදය සහ සමගියයි. කවුරුන් හෝ මේ සමගිය කඩන්නට හදනවා නම් ඊට එරෙහි විය යුතුයි.

බෙදුම්වාදය ඉස්මතු කිරීමට උත්සාහ කර එය අසාර්ථක වූ පසුව ඇතැම් කල්ලි කණ්ඩායම් ආගම්වාදය ඉදිරියට ගෙන රට අස්ථාවර කිරීමට උත්සාහ කරනවා. එමෙන්ම ජාතිවාදය අදින්නට උත්සාහ කරනවා. එවැනි දේට ඉඩදෙන්නට හැකියාවක් නැහැ. අප සියලූදෙනා එක්ව එවැනි ක්‍රියාදාමයන් හෙළා දැකිය යුතුයි.

ශ්‍රී ලාංකිකයන් බෙදන්නට ඉඩදෙන්න බැහැ. ආගම යනු සියලූදෙනා එක්කරන සංකල්පයක්. ජනතාව අතර බෙදීම් ඇති කරන සංකල්පයක් නොවේ. ආගම්වාදය, ජාතිවාදය ඇති කරන්නට සමහරුන් උත්සාහ කරනවා නම් එය වහාම නතර කළ යුතුයි. ඒ ව්‍යායාමය සඳහා අත්වැල් බැදගැනීමට සියලූදෙනාටම යුතුකමක් තිබෙනවා. සාමය ආරක්‍ෂා කිරීමට සැමට වගකීමක් තිබෙනවා.

ක්‍රිස්තියානි, ඉස්ලාම්, හින්දු, බෞද්ධ කිසිදු දහමක වෛරයක් ඇති කරන්නැයි පවසා නැහැ. අප කතා කළ යුත්තේ කෙසේදැයි බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවා. අප පාවිච්චි කළ යුතු වචන ගැන දේශනා කර තිබෙනවා. අප බෞද්ධයෙකු වන්නේ අපේ මනස හැදුණොත් පමණයි. බෞද්ධකමට ගැලපෙන ආකාරයට කතා කරන්නේ නැති නම්, ආගමික සංහිදියාව කඩාකප්පල් කරනවා නම් මනස පාලනය කරන්නේ නැති නම් එම පුද්ගලයන්ගේ වටිනාකම කුමක්ද? වසලයා කවුද? බ්‍රහ්මණයා කවුද? යන කාරණය පිළිබඳව බුදුන් වහන්සේ පැහැදිලිවම දේශනා කර තිබෙනවා.

ඒ අයුරින්ම ක්‍රිස්තියානි, හින්දු, ඉස්ලාම් ආගම්වලත් දේශනා කර තිබෙනවා. අපි ජාතිවාදය ආගම්වාදය සම්පූර්ණයෙන්ම හෙළා දැක ඔවුන්ට විරුද්ධව ක්‍රියා කරනවා. ඒ පිළිබඳව සියලූ ලාංකිකයන් දැනුම්වත් කළ යුතුයි. ගම්වලට ගොස් එකමුතුකම ආරක්‍ෂා කරන ලෙසත්, ජාතිවාදයට, ආගම්වාදයට ඉඩ නොදෙන ලෙසත් තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටිනවා. යමෙකු නීතිය කඩනවා නම් ඊට එරෙහිව වහාම ක්‍රියාත්මකවීමට පොලිසියට යුතුකමක් තිබෙනවා. ඒ පිළිබඳව සම්පූර්ණ වගකීම පොලිසියට භාරදී තිබෙනවා. කුමන ජාතියක්, ආගමක් වුවත් නීති උල්ලංඝනය කිරීමට හැකියාවක් නැහැ.

මෙවැනි වැරැදිවලට එරෙහිව පොලිසිය කල්නොගෙන වහාම ක්‍රියාත්මක විය යුතුයි. පොලිසියට, අධිකරණයට මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවට නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම භාරදී අප ගම්මානවලට ගොස් තරුණ නායකයන් ලෙස මෙරට සමගිය ආරක්‍ෂා කිරීමට ජාතිවාදය, ආගම්වාදය හෙළා දැකීමට ක්‍රියා කරමු.

t

o

p