වෙසක් සිරියෙන් රටම පිබිදේ – ලොව පළමු වෙසක් තොරණ් දියවන්නා වෙසක් කලාපයේ

May 10, 2017

රටපුරා නන්දෙස පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් කලාප අතුරින් දෙස් විදෙස් බෞද්ධ සම්ප‍්‍රදාය මෙන්ම අතීතයේ සිට පැවත එන වෙසක් සැරසිලි සඳහා නව අර්ථයක් සපයමින් ලෝකයේ ඇති නවීන තාක්ෂණික සැරසිලි අත්දැකීම් සමග දියවන්නා වෙසක් කලාපය සංවිධානය කිරීමට මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයත්, කථානායක කාර්යාලයත් සියළු කටයුතු සකසා සපුරා ඉටුකර අවසන් ය. පළමුවරට පැවැත්වෙන දියවන්නා වෙසක් කලාපය වෙසක් පොහෝ දින සිට දියත උද්‍යානය, පාර්ලිමේන්තු සංකීර්ණය අවට, ජපන් මිත‍්‍රත්ව පාර සහ දියවන්නා ඔය ආශි‍්‍රතව පැවැත්වීමට මේවන විට සියළු කටයුතු සූදානම් කොට ඇත.

ශ‍්‍රී ලංකාවේ සිදුකරන වෙසක් සැමරුමක පළමුවරට දැක ගත හැකි ජලතිර තොරණ, ලේසර් තොරණ  සහ ආසියානු රටවල් වන ඉන්දියාව, පකිස්ථානය, චීනය, බුරුමය, තායිලන්තය, සිංගප්පූරුව, වියට්නාමය, කාම්බෝජියාව, මියන්මාරය සහ මැලේසියාව යන රටවල් දහයක බෞද්ධ සංස්කෘතීන් සහ සම්ප‍්‍රදායන් විදහා දැක්වෙන, ඒ ඒ රටවල් වලින් නිර්මාණය කෙරෙන වෙසක් සැරසිලි කුටි ද මෙවර දියවන්නා වෙසක් කලාපයේදී ඔබට දැක ගත හැකිය. අඩි 60 ක් දිග අඩි 30 ක් උස ජල තිර තොරණේ ජාතක කතා දෙකක් මූලිකව කතාවස්තුව නිර්මාණය කර ඇත. අඩි 60 ක් උස අඩි 40 ක් පළල ලේසර් තොරණෙහි දි සිදුහත් උපත සිට බුද්ධ පරිනිර්වාණය දක්වා සිතුවම් නිර්මාණය කෙරේ.

Diyawannawa3

දියවන්නා ඔය ආශ‍්‍රිතව නෙළුම්මල් 2,500 ක් පා කරමින් පළමු වරට ආලෝකමත් කෙරෙන ජල පුෂ්පයක් ද, පොල්දූව මංසන්දියේ දියවන්නා ඔයේ ස්ථාපිත කර ඇත. ජපන් මිත‍්‍රත්ව පාරේ, අපේගම පරිශ‍්‍රයට යාබද  වෙසක් උද්‍යානයේ ඩිජිටල් තොරණ්, වෙසක් කූඩු, ශ‍්‍රී ලංකාවට උරුම චෛත්‍ය සම්ප‍්‍රදාය ඇතුළු අලංකෘත වෙසක් සැරසිලි රාශියකින් සමන්විතය. 10 වන දා රාත‍්‍රී 7.30 සිට 12 වනදා රාත‍්‍රිය දක්වා දිනකට 75,000 කට   සහභාගී විය හැකි මහා බත් දන්සලක් සහ දින පහ පුරාම කි‍්‍රයාත්මක නූඩ්ලස් දන්සල සහ ඔසුපැන් දන්සැල් ද මෙම කලාපයේ පැවැත්වේ. තවද 11 වන දින උදෑසන 3,000 ක් දෙනා වෙනුවෙන් සිදු කරන විශේෂ භාවනා වැඩසටහන සහ එදිනම දහවල් මහාසංඝරත්නය 500 නමක් උදෙසා මහා පිණ්ඩපාත චාරිකාව සහ සංඝත දක්ෂිණාව ද කථානායක නිළ නිවසේ දී පැවැත්වේ.

දියවන්නා වෙසක් කලාපයේ සමාරම්භය මැයි 10 වන දා සවස 6.30 ට දියත උද්‍යාන පරිශ‍්‍රයේදී අතිගෞරවනීය මහා සංඝරත්නය ප‍්‍රමුඛව, ගරු කථානායක කරූ ජයසූරිය මහතා සහ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සහභාගීත්වයෙන් ආරම්භවීමට නියමිතය.

මේ සියළුම දේ ඔබේ නෙතින් දරාගෙන බුද්ධාලම්භන ප‍්‍රීතිය උපදවාගෙන යහපත් සිතින් දැකබලා සතුටුවන්නට මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මෙයින් ඇරයුම් කර සිටී.

Diyawannawa2 Diyawannawa1

t

o

p