කුණු කන්ද මෙම ස්ථානයෙන් ඉවත් කරනවා ; අගමැති රනිල් මීතොටමුල්ලේ සිට කියයි

April 19, 2017

මීතොටමුල්ල කුණු කන්ද නාය යාමේන් සිදුවූ විපත බැලීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද ඒ ප්‍රදේශයේ සංචාරයක නිරත විය. එහිදී සිදුවී ඇති විපත දැක අසරණ වූ ජනතාව සමඟ කතා කිරීමට කොළොන්නාව රාහුල විද්‍යාලයට පැමිණ ඔහුන් සමඟ අදහස් හුවමාරු කර ගත්හ.

එහිදී අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා..

අද අපි ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් මේ පිළිබඳව මූලික සාකච්ඡාව පැවැත්වුවා. පසුගිය සඳුදා දිනයේත් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. මම ශ්‍රී ලංකාවේ නොසිටියත් ජනාධිපතිතුමා සහ අදාළ ඇමැතිවරුන් සමග මේ පිළිබඳව සාකච්ඡා කළා. මෙම ස්ථානයේ මියගිය පුද්ගලයන්ගේ මළ සිරුරු සොයා ගැනීමත්, අනෙක් පුද්ගලයන්ගේ ජීවිත බේරාගැනීමත් අපගේ ප්‍රමුඛම කාර්යය වනවා.  මේ වනවිටත් ඒ සඳහා බොහෝ වැඩකටයුතු සිදු කර තිබෙනවා.

අප මෙම කුණු කන්දෙන් සිදුවන හානිය වළක්වාගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින අතර, ප්‍රදේශය තුළ මේ වනවිටත් යුද හමුදාව, පොලිසිය එකතු වී ආපදා සහන සැලසීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටිනවා.

මෙයින් ආපදාවට ලක්වූවන්ට සහ මෙහි ජීවත් වන සියලූදෙනාට නව නිවාස ලබාදීමට දැනට අප කටයුතු කරමින් සිටිනවා. ඒ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය සමග එක්ව ලබාදිය හැකි නිවාස හඳුනාගෙන ද තිබෙනවා. මැයි, ජුනි සහ ජූලි මාස වන විට එම නිවාස ලබාදීමට හැකියාව ලැබෙනවා. ඒවනතෙක් මෙම ජනතාවට රැඳීසිටීමට තාවකාලික ස්ථාන සහ අනෙකුත් පහසුකම් ලබාදීමටත් කටයුතු කරනවා. මේ වන විට ජනතාවට සිදු වූ හානිය පිළිබඳ තක්සේරු කිරීම් සිදුවනවා. සිකුරාදා දිනය වන විට එම තක්සේරු කිරීම්වල අවසන් වාර්තාව ලබාගැනීමට අප බලාපොරොත්තු වෙනවා.

Ranil-in-methotamulla1මෙම සහන සැලසීමේ ක්‍රියාවලිය සඳහා සියලුම ආයතන එකට එකතු වී ක්‍රියා කළ යුතු වන අතර, සහන සැලසීමේ කටයුතුවලට සහයදීම සඳහා ජපානයෙන් සහ ලෝක බැංකුවෙන් කණ්ඩායම් දෙකක් පැමිණෙනවා.

මෙම කුණු කන්ද තවදුරටත් මෙම ස්ථානයේ නොතබන බවත්, එය මෙම ස්ථානයෙන් ඉවත් කරන බවත් මා පවසනවා. කොළොන්නාවේ ජනතාවට පමණක් මෙම කුණු කන්දේ බර දැරිය නොහැකියි.  කොළඹ නගරයට දිනකට ලක්‍ෂ 20 ක ජනතාවක් පැමිණෙනවා. ලක්‍ෂ 7 ක ජනාතව කොළඹනගරයේ ජීවත් වනවා. ඒ පිළිබඳව සැලකිලිමත් වෙමින් වෙනත් රටවල මෙන් පරිසරයට හානියක් නොකර කුණු ප්‍රශ්නය සඳහා විසඳුමක් සෙවීමට අපි ක්‍රියා කරනවා.

දේශපාලන වාසි වෙනුවෙන් බොහෝ අය උද්ඝෝෂණ සිදු කරනවා. නමුත් අපි ක්‍රියා කළ යුත්තේ  පරිසර නීතියට අනුකඣලවයි. මේ ගැටලූවට විසඳුමක් තිබිය යුතුයි. මේ ගැටලූව විසඳීම සඳහා  පෙර සිටම අප විවිධ පියවර ගණනාවක් අනුගමනය කළා. ඇතැම් තීරණ ගැනීමට අප ප්‍රමාද වුණා. අවසානයේ ජීවිත ගණනාවක් අපට අහිමි වුණා.

Ranil-in-methotamulla2එම වගකීම අපත් භාරගත යුතුයි. ඒ වගේම සමාජයත් ඒ වගකීම භාරගත යුතු වනවා. කෙසේ හෝ මේ ප්‍රශ්නය විසදා මේ අවට ප්‍රදේශයේ ජීවත්ව සිටින අයට මින් ඉදිරියට ඔවුන්ගේ එදිනෙදා ජීවිතය සාමාන්‍ය ලෙස ගෙවීමට හැකි වන පරිදි පසුබිම සකස් කර දිය යුතු වනවා.

විශේෂයෙන්ම යුද හමුදාව, පොලිසිය, විශේෂ කාර්ය බලකාය මෙම ස්ථානයට පැමිණිලා විශාල සේවාවක් කර තිබෙනවා. ඒ වගේම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නිලධාරීන් ද මේ ගැටලූවේදී විශාල කාර්ය භාරයක් මේ වන විටත් සිදු කරමින් සිටිනවා. ඒ සියලූම දෙනාට මම ස්තූතිවන්ත වනවා. මේ ස්ථානයට පැමිණීමෙන් පසුව මෙම සිදුවීම පිළිබඳව මම තවත් දැනුම්වත් වුණා. එම නිසා මේ සතිය අවසන් වන විට සහන සැලසීමේ කටයුතු අවසන් කිරීමට හැකි වෙනු ඇතැයි මම විශ්වාස කරනවා.

එහිදී මාධ්‍ය විසින් අග්‍රාමාත්‍යතුමාන්ගෙන් ඇසූ ප්‍රශ්න සහ පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය : අගමැතිතුමා මේ පිළිබඳව ස්ථීර විසඳුමක් ලබා දෙනවාද?

පිළිතුර : ඔව්, අපි ඒ පිළිබඳව කටයුතු කරමින් යනවා. ඊට අවශ්‍ය අලූත් නීති රීති සම්පාදනය කරනවා.

t

o

p