දැවැන්ත ජන ගඟක් සමඟ කම්කරු දිනය දා ජනාධිපති කර්යාලය හා අරලිගහ මන්දිරය වටලනවා

April 3, 2017

එළැඹෙන කම්කරු දිනය දා ගාලු මුවදොරට ගලන ඒකාබද්ධ විපක්ෂයේ දැවැන්ත ජන ගඟ සමඟ ජනාධිපති කාර්යාලය, අරලිය ගහ මන්දිරය වටලන බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලියට සෙනඟ නැති වෙතැයි සිතමින් සිනාසෙන්නට බලා සිටින කාටත් එදාට සිදුවන්නේ සිනාසීමට නොව ඇඬීමට බව පැවසූ රණතුංග මහතා ඉතිහාසයේ කිසිදිනෙක විපක්ෂයේ කණ්ඩායමක් නොපැවැත් වූ ආකාරයේ දැවැන්ත මැයි රැලියක් මෙවර ගාලුමුවදොර දී පැවැත් වෙන බවත් පැවසීය.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ බියගම ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී ඊයේ (02) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බියගම බල මණ්ඩල රැස්වීමට සහභාගී වෙමිනි.

2015 ජනවාරි 08 වැනි දා ජනාධිපතිවරණයට පෙර රට පුරා රැස්වීම් පවත්වගෙන යන කොට මම ජනතාවට කිව්වා මෛත්‍රීපාල සිරිසේන මේ රටේ ජනාධිපති වුණොත් පැය 24ක් ඇතුළත රනිල් වික්‍රමසිංහ අගමැති කරවලා රට විනාශ කරනවා කියලා. දැන් ‍ඒක වෙලා. අද රටම විනාශ මුඛයට ඇද වැටිලා ඉවරයි.

මම අද උදේ ගෙදරින් එළියට බැහැලා කැළණිය පන්සල හරහා කිරිබත්ගොඩින් මෙතැන ආවේ. එදා කිව්වේ හැම ලයිට් කණුවක් ගාණෙම මහින්ද මහත්තයාගේ පින්තූරයක් තියෙනවා කියලයි. අද මම එනකොට දැක්කා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ලයිට් කණු ගාණේ අත උස්සගෙන ඉන්නවා. කොහොමද වැඩේ?

එදා මහින්ද මහත්තයා බලයේ ඉන්න කොට විපක්ෂයේ අය චෝදනා කළේ හොරා කියලයි. බඩු මිල වැඩියි කියලා කවුරුවත් කිව්වේ නැහැ. හොරු අල්ලනවා, ගස් බඳිනවා කියලා බලයට ආපු අය දැන් අවුරුදු දෙකක් ගෙවිලත් කරපු කෙංගෙඩියක් නැහැ. අල්ලපු හොරෙක් නැහැ.

මේ ආණ්ඩුව ඇවිත් අවුරුදු දෙකෙන් බැඳුම්කර හොරකමේ සිට හැම අමාත්‍යෘංශයකම හොරකම් ඒකාබද්ධ විපක්ෂයේ මහින්දානන්ද මන්ත්‍රීතුමා ඇතුළු කණ්ඩායම ලිඛිතව ඔප්පු කරලයි තියෙන්නේ. හැබැයි රටේ නීතිය නමන පොලිස්පති කෙනෙක් ඉන්න නිසා ඒවට කිසිම පියවරක් අරන් නැහැ.

ඒකාබද්ධ විපක්ෂයේ අය ආණ්ඩුවට බනින කොට හිරේ දානවා. වාහන අවභාවිතා චෝදනාවකට අනුබල දුන්නා කියලා විමල් වීරවංශ මන්ත්‍රීතුමා රිමාන්ඩ් කරලා දවස් අසූවකට වැඩියි. හැබැයි ඒ චෝදනාවම තියෙන ලසන්ත අලගියවන්න නියෝජ්‍ය ඇමැතිවරයයි ආශු මාරසිංහ කියන මන්ත්‍රීවරයයි කිසිම පරීක්ෂණයක් නැතුව යහතින් ඉන්නවා.

ඒ දෙන්නම යහපාලන ආණ්ඩුවේ කොටස්කාරයෝ නිසා යහතින් ඉන්නවා. හැබැයි ඒකාබද්ධ විපක්ෂයේ කෙනෙක් වුණොත් ඉන්න වෙන්නේ හිරේ. මම ඊයේ ලංකාවට ආවාම ආදායම් බදු දෙපර්තමේන්තුවේ නිලධාරියෙක් කතා කරලා මගේ ආදායම් බදු ගෙවපු ඒවායේ විස්තර අහනවා.

අපි ඒකාබද්ධ විපක්ෂයේ ඉඳගෙන කෑගහන කොට මේවා කරලා තමයි අපිව බය කරන්න හදන්නේ.ආණ්ඩුව හිතනවා නම් ඒ විදියට අපිව බය කරන්න පුළුවන් කියල ඒක තමයි ලොකුම විහිලුව. 2015 ජනවාරි 08 වැනි දායින් පස්සේ තනතුරක් තියාගෙන එළියට බැහැපු එකම කෙනා ප්‍රසන්න රණතුංගයි. අනික් කාටවත් තනතුරු තිබ්බේ නැහැ.

තනතුරුවලට කෑදරකමේ අනෙක් මහ ඇමැතිවරුන් වගේ මහින්ද මහත්තයා පරදින කොට මමත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ළඟට ගියා නම් මටත් මහ අමැතිකමේ කිසිම කරදරයක් නැතුව ඉන්න තිබුණා. තනතුරු ගත්තා නම් මිනිස්සු අපිට නැති වෙනවා. අපිට වැදගත් වෙන්නේ තනතුරු නෙමෙයි මිනිස්සුයි.

සමහර අයට වරදාන වරප්‍රසාද නැතුව ජීවත් වෙන්න බැහැ. ඒ වගේම ප්‍රතිපත්ති මතම යැපෙන්නත් බැහැ. මේවා දේශපාලනයේ තියෙන දේවල්. නවුත් අපට එක හොඳක් වෙලා තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා නැවත මේ රටේ නායකත්වයට ගෙන ආ යුතු බව දැන් රටම විශ්වාස කරනවා.

රජයේ සේවකයෝ යහපාලනයට ඡන්ද දුන්නේ වැටුප වැඩි කර ගන්නයි, යතුරු පැදියට ගත්ත රුපියල් පනස්දහස කපා ගන්නයි. දැන් මොකද වෙලා තියෙන්නේ? මොනවත් නැතුව උඩ බලාගෙන ඉන්නවා. බදු පිට බදු වැටිලා පඩියට එකතු වෙන රුපියල් දස දහස වෙනුවට විසිදහසක් ගෙවන්න වෙලා තිබෙනවා.

ගෙදර පිරිමියා බීගෙන පිස්සු නටනවා නම් ගේ දොර විනාශ වෙනවා. මුදල් නැති නිසා ණ්‍යට අරන් කනවා. අන්තිමට මිනිස්සු ණය දෙන්නේ නැහැ. ණය දෙන්නේ නැති වුණාම ගෙදර බඩු ටික විකුණන්න වෙනවා. මේ ආණ්ඩුවටත් වෙලා තියෙන්නේ ඒක තමයි. මේක රටේ සම්පත් විකුණගෙන කන මස්තබාල්දු  ආණ්ඩුවක්.

මේ අයට ආණ්ඩු කරන්න පුළුවන්කමක් නැහැ. ණය අරගෙන කාලා කාලා දැන් රාජ්‍ය සම්පත් විකුණනවා. වරායේ ඉඳලා විකුණනවා. වරායේ ඇමැති මගේ සහෝදරයෙක්. ඒක වෙනම කතාවක්. මම නම් හිතුවා එතුමා රෙජී රණතුංග ඇමැතිතුමාගේ පුතෙක් නම් වරාය විකුණනවට විරුද්ධව කෙළින්ම එළියට බැහැලා ගේමක් අදියි කියලා.

හැබැයි කිසිම සද්දයක් නැහැ. දැන් කියන්නේ මේවා විකුණන්නේ මහින්දගේ ණය හින්දා කියලයි. නමුත් මහින්ද කියන්නේ රට ණය කරපු නායකයෙක් නෙමෙයි. රට ගොඩනඟපු නායකයෙක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායක ප්‍රතිපත්ති ඉදිරියට ගෙනියන්නේ මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයයි.

ඒ නිසා තමයි පළාත් පාලන මන්ත්‍රිවරුන්ගෙන් සියයට 95ක්ම අපිත් එක්ක ඉන්නේ. පළාත් සභා  මන්ත්‍රීවරුන්ගෙන් බහුතරය ඉන්නේ. පාර්ලිමේන්තුවේ නම් දිනපු මන්ත්‍රීවරුන්ගෙන් සියයට 50කටත් වඩා ඉන්නේ අපිත් එක්ක. අනික් අය වරප්‍රසාදවලට ගියා. ගිය මැති ඇමැතිවරුන් ‍රටේ ජනමතය තේරුම් ගත යුතුයි.

අද මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ආණ්ඩුවක් හදන්න ආණ්ඩු විරෝධී සියලු බලවේග එකම තැනකට ඇවිත් තිබෙනවා. අද රටම කියන්නේ මේ ආණ්ඩුව ගෙදර යැවිය යුතු බවයි. තව වැඩි කලක් යන්න ඉස්සර අපි මේ රට ගොඩනඟන, රටට ආදරය කරන ආණ්ඩුවක් හදනවා.

මිනිස්සු නැතුව දේශපාලනයක් කරන්න බැහැ. මිනිස්සුගෙන් ඈත් වුණොත් දේශපාලනඥයා ඉවරයි. මහින්ද රාජපක්ෂ කියන්නේ හැමදාම මිනිස්සු එක්ක හිටපු නායකයෙක්. අද පාර්ලිමේන්තුවේ විපක්ෂයක් තියෙන්නේ මහින්ද මහත්තයා නිසයි. ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ සන්ධානය ආණ්ඩුවට කඩේ යනවා මිසක් කරන වැඩක් නැහැ.

නියම විපක්ෂයේ රාජකාරිය කරන්නේ ඒකාබද්ධ විපක්ෂය. ඊළඟ පළාත් පාලන මැතිවරණයෙන් තමයි පෙරළියක ඇරැඹුම පටන් ගන්නේ. එදා මහින්ද රාජපක්ෂ වට කරගෙන හිටපු අයම තමයි එතුමට වැඩියෙන් බනින්නේ. හැබැයි සමහරුන්ට නම් මහ මැතිවරණයේ දී ජනතාව හොඳ කනේ පාරක් දුන්නා. අනෙක් අයටත් ඒ ටිකම තමයි.

මැයි පළමුවැනි දා අපේ මැයි රැලිය තියෙන්නේ ගාලු මුවදොර පිටියේ. පොළොන්නරුවේ සිට රට පාලනය කරනවා කියපු අයත් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉඳලා අපේ මැයි පෙලපාලිය දිහා බලයි. සෙනඟ දැක්ම මොකද වෙන්නේ කියලා ‍තේරෙයි. අපිට ජනාධිපති ලේකම් කාර්යාලය වටලන්න බැරිකමකුත් නැහැ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බැනට් කුරේ, බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ සංවිධායක ගුණසිරි ජයනාත්, බියගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ආනන්ද ගනේගොඩ, කථිකාචාර්ය මහින්ද පතිරණ මහත්වරුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට සහභාගී වූහ.

t

o

p