අලූත් ව්‍යවස්ථාව හැදූ පමණින් රටේ සියළු ප‍්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නේ නැහැ – ඇමති චම්පික

March 24, 2017

පසුගියදා අපූරු සිදුවීමක් ස්කොට්ලන්තයෙන් වාර්තා වූ බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සිය ෆේස් බුක් පිටුවට වීඩියෝ පටයක් එක් කරමින් ඊයේ (23) ප‍්‍රකාශ කර සිටියේ ය. එම අනාවරණයේදී අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පහත අදහස් දැක්වීය.

‘‘ස්කොට්ලන්තයේ පාර්ලිමේන්තු නායිකාව ස්ටර්ජන් මැතිණිය ප‍්‍රකාශ කළා මහා බි‍්‍රතාන්‍යයෙන් ස්කොට්ලන්තය වෙන්වී යාමේ ජනමත විචාරණය 2018 දී පැවැත්විය යුතුයි කියලා. මේකට එරෙහි වෙච්ච බි‍්‍රතාන්‍ය අගමැතිණිය තේරේසාමේ ප‍්‍රකාශ කළේ ඒ ජනමත විචාරණය පවත්වනවා නම් එය 2021 දී පැවැත්විය යුතුයි කියලා. ඒකට එරෙහිව දැන් ස්කොට්ලන්තයේ බරපතල උද්ඝෝෂණයක් පැණ නැගිලා තිබෙනවා. මේ උද්ඝෝෂණයේ පසුබිම තමයි ගියවසරේ පවත්වපු බි‍්‍රතාන්‍ය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ බ්රෙක්සිට් ජනමත විචාරණයේදී ස්කොට්ලන්තවාසීන් සාතිශය බහුතරයක් ඡන්දය ලබාදුන්නේ, ස්කොට්ලන්තය යුරෝපා සංගමයේ කොටසක් ලෙස පැවැතිය යුතුයි කියන පදනම මත. ඒ නිසා එංගලන්තයට යුරෝපා සංගමයෙන් වෙන්වීමට වරමක් ලැබිලා තිබුණත් ස්කෝට්ලන්ත ප‍්‍රදේශවලින් එවැනි වරමක් ලැබිලා නැති නිසා තවදුරටත් ස්කොටලන්ත ප‍්‍රදේශ යුරෝපා සංගමයේ සිටිය යුතුයි. ඒ වගේම ස්කොට්ලන්ත ජනතාව මේ ජනමත විචාරණයේදී වෙනම ඡන්දය පාවිච්චි කරලා තිබෙන නිසා ඔවුන්ට වෙන්වී යාම සඳහා වූ ජනමත විචාරණය නැවත අවශ්‍යයි කියලා ස්කොට්ලන්ත ජාතිකවාදීන් උද්ඝෝෂණය කරමින් තිබෙනවා.

මේකෙන් මොකක්ද ලංකාවට ඉගෙන ගන්න පුළුවන් පාඩම. දැන් අපිට ඇහෙනවා හැම පැත්තෙන්ම ජනමත විචාරණයක්  ඕනා, අලූත් ව්‍යවස්ථාවක්  ඕනා කියන සටන් පාඨය. අලූත් ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය බව ඇත්ත. හැබැයි ඒ අලූත් ව්‍යවස්ථාව හැදූ පමණින් අද රටේ තිබෙන සෑම ප‍්‍රශ්නයකමට විජ්ජාබලයකින් වගේ විසඳුම් ලැබෙනවා කියන එකනම් පිළිගන්න පුළුවන් කාරණයක් නෙමෙයි. නමුත් ව්‍යවස්ථාවකින් විසඳාගත හැකි ප‍්‍රශ්න ප‍්‍රමාණයකුත් තිබෙනවා බව ඇත්ත. හැබැයි එකක් අපි මතක තබා ගත යුතුයි එම ව්‍යවස්ථාව සඳහා පවත්වන ජනමත විචාරණයෙන්, ස්කොට්ලන්තයයි, එංගලන්තයයි අතර බ්රෙක්සිට් ජනමත විචාරණයේදී ඡන්ද බෙදී ගියා වගේ උතුරු හා නැගෙනහිර එක ඡන්ද ප‍්‍රතිඵලයකුත්, රටේ සෙසු ප‍්‍රදේශවල තව ඡන්ද ප‍්‍රථිපළයකුත් ඇති වුනොත් අනිවාර්යයෙන්ම ශ‍්‍රී ලංකාව තුළ ජනමත විචාරණයකින් ශ‍්‍රී ලංකාව තුළ රට බෙදන්න වරමක් ලැබුණාය කියන එක ගැන දෙමළ ජාතිවාදී පිරිස් උද්ඝෝෂණය කරන්න පෙළෙඹෙන එක වලක්වන්න බැරිවෙනවා. ඒ නිසා කවර ජනමත විචාරණයක් රටේ ව්‍යවස්ථාවට පැවැත්වුවත් උතුරේත්, දකුණේත් දෙකේම ඒක එක විදිහට අනුමත විය යුතු ව්‍යවස්ථාවක් විය යුතුයි. එසේ අනුමත විය යුතු ව්‍යවස්ථාවක් අපට ලඟාකර ගත හැක්කේ සියළු දේශපාලන පක්ෂවල එකඟතාවයෙන් අපි ව්‍යවස්ථාව තැනුවොත් පමණයි.

පෙඩරල්වාදීන්ට  ඕනෑ විදිහට හෝ, ඒවාගේම ලංකාව ආගම් අවශ්‍ය නැති ලෞකිකවාදී රටක් වෙන්න   ඕනේ කියලා විශ්වාස කරන පිරිස වෙත හෝ වෙනත් අන්තවාදී මතවාද දරණ පිරිස් වෙත හෝ නෙවෙයි මේ ව්‍යවස්ථාවට රැඳී තිබිය යුත්තේ, සියළුම දේශපාලන පක්ෂවලට එකඟවෙන්න පුළුල්ම එකඟතාවය මත මහාසම්මතයෙන් එය සම්මතකරගැනීමයි අවශ්‍යය. එසේ නොවුනහොත් රට බෙදන තත්වයකට, පාර්ලිමේන්තුවේදීත්, ජනමත විචාරණයේදීත් රට පත්වෙනවාට කිසිම සැකයක් නැහැ. මෙයයි අපි බි‍්‍රතාන්‍ය  යුරෝපා සංගමයෙන් වෙන්වී යාමේ ජනමත විචාරණය හා එයින් පසුව ස්කොට්ලන්තය බි‍්‍රතාන්‍යයෙන් වෙන්වෙන්නට දැන් දරණා වූ උත්සාහයෙන් ඉගෙන ගත යුතු පාඩම. ’’

දෙස් විදෙස් හි දේශපාලන හා සමාජ කරුණු කාරණා විශ්ලේෂණය කරමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සෑම බ‍්‍රහස්පතින්දා දිනකම තම පෞද්ගලික ෆේස්බුක් පිටුවට අදහස් එක් කරයි. මෙය එයින් උපුටා ගත්තකි.

t

o

p