කෝප් කමිටුව සයිටම් විමර්ශනයේදී දෙකට බෙදේ

March 20, 2017

පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප්  කමිටුව සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් කරනා විමර්ශනයේදි දෙපාර්ශවයකට බෙදී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය සයිටම් ආයතනයට විරුද්ධව අදහස් දක්වා ඇති අතර එක්සත් ජාතික පක්ෂය මෙයට පක්ෂව අදහස් දක්වා තිබේ. ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිහඩ පිළිවෙතක් අනුගමනය කර ඇති අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මහින්දානන්ද අලූත්ගමගේ මහතා කෝප් කමිටුවෙන් නැගිට ගොස් ඇත.
කෝප් කමිටු සභාපති සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් කෝප් කමිටුව 20 දා පෙරවරුවේ රැස් වූ අවස්ථාවේදි මෙම තත්ත්වය හටගෙන තිබේ.
සයිටම් පෞද්ගලික වෛද්‍යායතනයට උපාධි පරිනැමිමේ අවසරය දෙමින් එවකට උසස් අධ්‍යාපන ඇමති එස්. බී දිසානායක මහතා නිකුත් කළ ගැසට් පත්‍රයට පදනම් වූ විශේෂඥ කමිටු වාර්තාව මෙහිදි සාකච්ඡාවට ගෙන ඇත.
එම කමිටු සාමාජිකයන්ද කෝප් කමිටුව හමුවේ පෙනි සිටි බවද පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම කමිටු වාර්තාව 2011 අප්‍රේල් මස 20 දින නිකුත් කර ඇති අතර එහිදි කමිටු සාමාජිකයන් සියලූ දෙනාම ඊට අත්සන් කර නැති බවද මෙහිදි හෙළි දරව් වී තිබේ.
මෙම කමිටුව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සාමාජියකයන් හතර දෙනෙකුගෙන් මෙන්ම එවකට කොළඹ, මොරටුව, ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාලයන්හි උපකුලපතිවරුන් හා වෛද්‍ය සභාවේ සාමාජිකයෙකුගෙන් සමන්විත වී ඇත.
එයින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සාමාජිකයන් හතර දෙනා මීට එකඟ වී වාර්තාවට අත්සන් තබා ඇතත් හිටපු උපකුලපතිවරුන් හා වෛද්‍ය සභා සාමාජිකයන් එයට එකඟව අත්සන් කර නැත. ඒ අනුව සාමාජිකයන් අට දෙනාගෙන් හතර දෙනෙකුගේ අත්සන් නැතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව මෙහිදි අනාවරණය වී ඇති අතර නැවත දිනකදි ඉදිරි පරික්ෂණ සඳහා රැස්විමට මෙහිදි තීරණය වී තිබේ.

t

o

p