ඒකාබද්ධ විපක්ෂය බේදබින්න වනවා දැකීම ජනාධිපති ඇතුළු සැමගේ හීනයයි

March 20, 2017

ජනාධිපතිගේ සිට ආණ්ඩුවේ ඉහළ සිට පහළට සිටින සියලුදෙනාගේ එකම හීනය වී ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය කොටවා බේද කරවීම බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

රට පාවා‍දෙන ද්‍රෝහී ගමනට විරුද්ධ ඒකාබද්ධ විපක්ෂය බෙදී වෙන් වී සිටින අයුරු ජනාධිපති, අගමැති ඇතුළු ආණ්ඩුවේ කුක්කන්ට සිහිනෙනුත් පෙනෙන බව පැවසූ රණතුංග මහතා ජනතාව පවරා දුන් වගකීම අකුරට ඉෂ්ඨ කරන ඒකාබද්ධ විපක්ෂය කෙටවීමට සිරිකොතේ ඉඳුල් කන්නන්ට නොහැකි බවත් කීවේය.

මේ දිනවල  ඕස්ට්‍රේලියාවේ  සංචාරයක  නිරත ව  සිටින  ප්‍රසන්න රණතුංග  මන්ත්‍රීවරයා   පසුගිය සිකුරාදා (17) එ රට වෙසෙන ශ්‍රී ලාංකිකයන්  හමුවිය  මෙම හමුව පැවතියේ    ඕස්ට්‍රේලියාවේ මෙල්බන්  අගනුවරදීය

එහිදී වැඩිදුරටත් ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද ප්‍රකාශ කළේය.

අද ආණ්ඩුවට ලොකුම හිසරදය බවට පත්වෙලා තියෙන්නේ ඒකාබද්ධ විපක්ෂය. එක්සත් ජාතික පක්ෂයයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි එකතු වෙලා යන මේ පිළිකුල් සහගත ගමනට හිලෑ විපක්ෂය වෙලා ඉන්න දෙමල ජාතික සන්ධානයත් ජනතා විමුක්ති පෙරමුණත් රහසෙන් සහයෝගය දෙනවා. ජාතික සම්පත් විකුණන, රට බෙදන, විරුද්ධවාදීන්ගෙන් පලිගන්න මේ ආණ්ඩුවට එරෙහිව රට තුළ හඬක් නඟන එකම කණ්ඩායම බවට පත් වෙලා තියෙන්නේ ඒකාබද්ධ විපක්ෂය පමණයි.

ඒ නිසා ආණ්ඩුවට වගේම හීලෑ විපක්ෂයටත් අවශ්‍ය වී තිබෙනවා ඒකාබද්ධ විපක්ෂයේ හඬ නතර කරන්න. ඉ‍ස්සෙල්ලාම මේ අය උත්සාහ කළා හවුල් ආණ්ඩුවේ ඇමැතිකම් දීලා අපේ මන්ත්‍රීවරුන් බා ගන්න. අපි කවුරුත් ඒවට අහුවුණේ නැහැ. මහින්ද මහත්තයාගේ ෆොටෝ දාගෙන පෝස්ටර් ගහලා, මහින්දවාදීන් කියලා ජනතාව රවට්ටලා පාර්ලිමේන්තුවට රිංගපු සමහරුන් ඇමැති කටුවලට රැවටුණාට අපි ඒවාට රැවටෙන්න සූදානම් නැහැ. අපි පෙනී ඉන්නේ ජනතාව වෙනුවෙන්.

ඊළඟට අපේ මන්ත්‍රීවරුන්ට බොරු චෝදනා දාලා, පොලීසි, උසාවි ගාණේ රස්තියාදු කරවලා බය කරන්න උත්සාහ කළා. අපේ මන්ත්‍රීවරුන්ට පමණක් නොවෙයි ඔවුන්ගේ දූ දරුවන්ට, ඥාතීන්ට, හිතවතුන්ට පවා බොරු චෝදනා එල්ල කරමින් බය කරන්න මේ ආණ්ඩුව උත්සාහ කරනවා. දවස ගාණේ උසාවි යන්න වුණත්, මාස ගණන් රිමාන්ඩ් කළත් අපේ අය ඒවට බය වුණෙත් නැහැ. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට එල්ල කරන චෝදනා සියල්ල බොරු බව දැන් ජනතාව දන්නවා.

අපේ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේ නඟන හඬ වළක්වන්නත් මේ ආණ්ඩුව ඉතාමත් නින්දිත විදියට උත්සාහ කරන බව මුළු රට පසුගිය දිනවල දැක්කා. මන්ත්‍රිවරුන් 50කට අධික සංඛ්‍යාවක් ඉන්න ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකකම නොදී, විපක්ෂයේ ප්‍රධාන සංවිධායකකම නොදී ආණ්ඩුවේ පදයට නටන දෙමළ ජාතික සන්ධානයට සහ ජනතා විමුක්ති පෙරමුණට එම තනතුරු ලබාදීමම කථානායකවරයා කරපු බරපතළ වරදක්.

අපේ මන්ත්‍රි කණ්ඩායමේ වරප්‍රසාද අමුඅමුවේම උල්ලංඝණය කරමින්, මන්ත්‍රිවරුන්ට තර්ජන ගර්ජන කරමින් මර්දනය කරන්න අගමැතිවරයා ඇතුළු කණ්ඩායම මුල සිටම කටයුතු කළා. පසුගිය සතියේ කථානායකවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දැක් වූ විරෝධයට මුවාවෙලා වර්තමාන කථානායකවරයා ඉවත් කරලා ෆැසිස්ට්වාදී පිං ගොනෙක් කථානායක පුටුවේ වාඩි කරවන්න අගමැති ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හීන් නූලෙන් කටයුතු කරමින් සිටිනවා. අපි ඒවට ඉඩ තියන්නේ නැහැ.

ඒකාබද්ධ විපක්ෂය මර්දනය කරන්න ආණ්ඩුවට මේ වගේ විවිධ ක්‍රියාමාර්ග ගන්න වෙලා තියෙන්නේ ජනතාවගේ එකම හඬ බවට අපි පත්වෙලා ඉන්න නිසයි. ආණ්ඩුව මොකක් හරි අලුගුත්තේරු වැඩක් කරන්න යද්දී මිනිස්සු දැන් කියන්නේ ඒවා කොහෙද ඒකාබද්ධ විපක්ෂයේ කට්ටිය ඉන්නකම් කියලයි. දවල්ට විප්ලවය ගැන කතා කරන රෑට සිරිකොතේ හිරිකිත නැතුව ලගින ජනතා විමුක්ති පෙරමුණවත් ඊළාම් රාජ්‍ය සිහිනයේ ඉන්න දෙමළ සන්ධානයවත් ආණ්ඩුවට විරුද්ධ නොවන බව ‍මිනිස්සු දැන් දන්නවා. අද ඒ තැනට රට ඇවිත්.

‍ජනාධිපති සහ අගමැති දන්නවා 2015 ජනවාරි 08 බලය උදුරා ගැනීමේ දී ජාත්‍යන්තරයටත් දෙමළ ඩයස්පෝරාවටත් දුන්න නිර්ලජ්ජිත පොරොන්දු ඒකාබද්ධ විපක්ෂය ක්‍රියාකාරීව  ඉන්නකම් ඉෂ්ඨ කරන්න බැහැ කියලා. ඒ නිසා මර්දනය සිය ගුණයකින් හෝ වැඩි කරලා අපිව නිහඬ කරන්න මේ අය උත්සාහ කරනවා. මේ යන විදියට මර්දනය උපරිම තැනට ගිහින් අවුරුද්ද ඉවරවෙන කොට ආයෙමත් බටලන්ද වගේ වධකාගාර අපිට දකින්න පුළුවන් වෙයි.

දැන් ආණ්ඩුවේ අලුත්ම නූල් සූත්තරය වෙලා තියෙන්නේ ඒකාබද්ධ විපක්ෂය කෙටවීමයි. ජනාධිපති අගමැතිගේ ඉඳලා ආණ්ඩුවේ ඉඳුල් කන ප්‍රාදේශීය සභා මන්ත්‍රී කට්ටා දක්වා සියලුදෙනාටම වුවමනා වෙලා තියෙන්නේ අපිව බෙදන්න. මම දැක්කා පසුගිය දවසක අර්ජුන අයියා කියලා තියෙනවා ඒකාබද්ධයේ නායකකමට ජන පදනමක් තියෙන ප්‍රසන්නත් හොඳයි කියලා. පසුගිය මහ මැතිවරණය වෙලාවේ එයා කිව්වේ ප්‍රසන්නට ඡන්දය දෙන්න එපා, දිනුවත් එයා පර්ලිමේන්තු යන්නේ නැහැ කියලා. එදා එයා පිළිගත්තේ නැහැ මට ගම්පහ දිස්ත්‍රික්කයේ ජන පදනමක් තියෙනවා කියලා.

දැන් බොරුවට ජන පදනමක් ගැන කතා කරන්නේ අපිව කොටවන්න. අර්ජුන අයියලා මෛත්‍රී- රනිල්ගේ දිරච්ච ලණු ගිල්ලට අපි ඒ තරම් මෝඩ නැහැ. අපේ අය බිඳවන්න ආණ්ඩුව ගන්න මේ වගේ බොළඳ උත්සාහයන් නිසා වෙන්නේ අපි තව තවත් ශක්තිමත් වෙන එකයි. ‍අපේ නායකයා මහින්ද රාජපක්ෂ. එතුමාගේ නායකත්වයෙන් යුත් ජනතාවාදී ආණ්ඩුවක් හැදීම තමයි අපේ අරමුණ. ඒ වෙනුවෙන් අපි කැපවෙලා ඉන්නේ මැති ඇමැතිකම්, වරදාන, වරප්‍රසාද අත ඇරලයි.

අපිට ජනතාව ඡන්දය දුන්නේ ජනතාව වෙනුවෙන් හඬ නඟන්න මිසක් සිරිකොතේ ඉඳුල් කන්නවත් මෛත්‍රී – රනිල්ලාගේ කටු ලෙවකන්නවත් නොවෙයි. ජනතාව අපට දුන් වගකීම අපි අකුරටම ඉෂ්ඨ කරනවා විතරක් නෙමෙයි  ලගදීම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවක් හදලා රට නැවතත් හරි පාරට ගන්නවා. 2015 ජනවාරි 09 වැනි දා ඉඳලා නැවතුණ තැන සිට රට ඉදිරියට ගෙන යාමේ වගකීම අපි ආයෙමත් ඉටු කරනවා.

මේ ආණ්ඩුව හරියට එළ හරකයි මී හරකයි එකට බැන්ද කරත්තයක් වගෙයි. එළ හරකා ගොඩට අදින කොට මී හරකා මඩට අදිනවා. මට ආණ්ඩුවට කියන්න තියෙන්නේ ඒකාබද්ධ විපක්ෂය කොටවන්න යන්නේ නැතුව තමන්ගේ හවුල් ආණ්ඩුවේ ආරවුල් විසඳා ගන්න කියලයි. ඇමැතිකම් වෙනස් කළා කියලා ඔය ආරවුල් විසඳන්න බැහැ. පක්ෂ දෙකේ ඇමැතිවරු මරා ගන්නේ බලය, ධනය බෙදා ගන්න මිසක් ජනතාවට වැඩ කරන්න නෙමෙයි. තමන්ගේ පක්ෂ දෙකේ ඇමැතිවරු පාලනය කර ගන්න බැරි ජනාධිපති අගමැතිලා කොහෙද රටක් පාලනය කරන්නේ?

 

 

t

o

p