පසුගිය රජය වැඩි මිලට ගුවන් යානා ගැනීමෙන් පාඩුව රු.බිලියන 32ක්

March 10, 2017

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පසුගිය රජය සමයේ ගුවන්යානා තුනක් කල්බදු ක්‍රමය යටතේ මිලදී ගැනීම මහා පරිමාණ හොරකමක් බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා අද (10) පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය.

එම මහා පරිමාණ හොරකමෙන් රජයට සිදු වන රුපියල් බිලියන 32 ක පාඩුව අවම කරමින් ගුවන්යානා මිලදී ගැනීම අවලංගු කිරීමට වත්මන් ආණ්ඩුව ක්‍රියා කරමින් පවතින බවත් ඇමැතිවරයා හෙළි කළේය.

ඇමරිකන් ඩොලර් මිලියන 120 ගැනීමට තිබූ ගුවන්යානා පසුගිය රජය විසින් කිසිදු වැඩපිළිවෙළක් නොමැතිව ඩොලර් මිලියන 800 කට මිලදී ගෙන ඇති බවත් එමඟින් රජයට ඩොලර් මිලියන 644 ක පාඩුවක් මාසිකව සිදු වන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මෙසේ පැවැසුවේය.

වසර 2014 වන විට ශ්‍රී ලංකා ගුවන් සමාගමට රුපියල් බිලියන 32 ක පාඩුවක් සිදුව තිබූ බවත් පසුගිය වසර වන විට වත්මන් රජය විසින් එම පාඩුව රුපියල් බිලියන 16 දක්වා සියයට 50 කින් අවම කිරීමට පියවර ගත් බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

පසුගිය රජය A – 350 ගුවන්යානා අටක් වෙළෙඳපොළට මිලට වඩා දෙගුණයක් වැඩිව මිලදී ගැනීමෙන් සිදු කළ වංචා, දූෂණ හා අක්‍රමිකතා නිසා රටේ ණය බර වැඩි වී ඇතැයි ද ඇමැතිවරයා කීය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හොරකමක් සිදුවී ඇතැයි සඳහන් කළත් වසර දෙකක් ගතවී තිබියදීත් කිසිදු අයකු හිරේ නොදමා ඇති බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසුවේය.

t

o

p