රවීගෙන් මහින්දට අභියෝගයක් : බැඳුම්කර චෝදනා අසත්‍ය නම් අධිකරණයට යන්න

March 1, 2017

බැඳුම්කර නිකුත් කිරීමේ දී පැවැති ආණ්ඩුව කටයුතු කළ දූෂිත ආකාරය සම්බන්ධයෙන් හෙළි කළ තොරතුරු අසත්‍ය නම් අධිකරණය හමුවට යන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අභියෝග කරන බව මුදල් අමාත්‍ය රවී කරුණනායක මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙවැනි කරුණු සාකච්ඡා කළ යුත්තේ ආගමික ස්ථානවල හෝ දේශපාලන වේදිකාවල නොවන බවයි. අධිකරණ පද්ධතිය සම්පූර්ණයෙන් ස්වාධීන කර ඇති පරිසරයක් තුළ අසාධාරණයට ලක් වූ ඕනෑම පාර්ශ්වයකට අධිකරණය හමුවට යා හැකි බව ද මුදල් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නව වෙබ් අඩවිය අන්තර් ජාලය වෙත මුදා හැරීමේ අවස්ථාවට අද (01) එක්වෙමිනි. මුදල් අමාත්‍යාංශයේ නව ශ්‍රවණාගාරයේ දී මෙම වෙබ් අඩවිය අන්තර්ජාලය වෙත මුදාහරිනු ලැබීය. මෙතෙක් පැවැති වෙබ් අඩවිය වෙනුවට වඩාත් පහසුවෙන් තොරතුරු ලබා ගත හැකි මෙම වෙබ් අඩවිය රේගු දෙපාර්තමේන්තුව මගින් නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.

මෙහිදී අදහස් දැක් වූ අමාත්‍යවරයා කියා සිටියේ ආණ්ඩුව වෙනස් වුව ද පැවැති ආණ්ඩුවේ දූෂණ ක්‍රියාවන්ට සහය දුන් ඇතැම් නිලධාරීන් තව දුරටත් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවය කරන බවයි.

“හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මම මේ අභියෝග කරන මේ දහ වැනි වතාව. මීට පෙර එල්ල කරපු කිසිම අභියෝගයක් ඔහු භාර ගත්තෙ නෑහ. හන්දිගානෙ, දේශපාලන වේදිකාවලයි මේව ගැන කතා කරල වැඩක් නෑ. එදා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එකතු වෙලා දූෂිත ලෙස කටයුතු කරද්දි ඊට සහය දුන් නිලධාරීන් තාමත් මහ බැංකුවෙ ඉන්නවා. ඒ නිසා තමයි අපි මේ හෙළිදරුව්ව කළේ. මා යළිත් ප්‍රකාශ කරන්නෙ අපි හෙළිදරුව් කරපු දෑ අසත්‍ය නම් හැකි නම් අධිකරණයට පැමිණ ඔප්පු කරන්න කියලයි.”

එහි දී රේගු දෙපාර්තමේන්තුවේ නව ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා අදහස් පළ කළේ ය.

“2017 අයවැය තුළින් ඉදිරිපත් කළ යෝජනා මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක තලයේ පවතිනවා. ඒ අනුව, රේගුව කලින් පැවැති තත්ත්වයට වඩා ඉතා ම වේගවත් සාර්ථක ගමනක් යමින් තියෙනවා. ඒ ගැන අපි සතුටු විය යුතුයි. නමුත් අපි තව වේගවත් විය යුතුයි. අද මේ ජාල ගත කරපු වෙබ් අඩවිය මගින් තව දුරටත් රේගුව ජනතාවට සමීප වීම සිදු වෙනවා. ඒ වගේ ම විනිවිධභාවය ඇති වෙනවා. රේගුවේ කටයුතු 100%ක් හෙළිදරව් වීම සිදු විය යුතු දෙයක්. අපි විනිවිධභාවය ගැන කතා කරනව විතරක් නෙවෙයි ඒව ක්‍රියාත්මක කරනවා. රේගු කටයුතු පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා රේගු නිලධාරීන්ට විදේශ ගතවීමට අවස්ථාව ලබා දුන්නා.

තව දුරටත් එවැනි අවස්ථාවන් මේ තරුණ නිලධාරීන්ට අවශ්‍ය නම් ඒවට අවශ්‍ය පහසුකම් සැලසීමට අපි සූදානම් කියන කරුණත් මෙහි දී මතක් කරන්න ඕනෙ. මේ වගේ දේවල්වලට ඇමැතිවරුන් සහභාගී වෙන්න අවශ්‍ය නෑ. ඒ කටයුතු පවා විනිවිධභාවයෙන් කිරීම මා සතු කාර්යභාරයක්.”

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චූලානන්ද පෙරේරා මහතා ද එහි දී අදහස් පළ කළේ ය.

“මෙම නව වෙබ් අඩවියේ විශේෂතා කිහිපයක් තියෙනවා. එකක් තමයි රාජ්‍ය ආයතනයක් විදියට අපේ ම නිලධාරීන් තමයි මේ වෙබ් අඩවිය නිර්මාණය කළේ. අනිත් කාරණාව, මෙය පරිහරණය කිරීමේ පහසුව. ඒ වගේ ම තමයි මෙම වෙබ් අඩවිය නිරන්තරයෙන් ම යාවත්කාලීන වෙනවා. ඒ සඳහා රේගු දෙපාර්තමේන්තුව මෙහි කටයුතු වෙනුවෙන් කමිටුවක් පවා පත් කරල තියෙනවා.

නුදුරේ දීම අපි නව මානව සම්බන්ධතා ඒකකයක් පිහිටුවනවා. අපේ ගණුදෙනුකරුවන්ට ඉතාම පහසුවෙන් තමන්ගෙ බහලු තොරුතුරු, දවසේ ඕනෑම අවස්ථාව දැන ගැනීමේ හැකියාව ඉන් ලැබෙනවා.” යැයි ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසීය.

t

o

p