ආනයනික සහල් බදු අඩු කළත් ගොවි ජනතාවට බලපෑමක් වෙන්න දෙන්නේ නෑ – අමාත්‍ය රවී

February 19, 2017

ආනයනික සහල් සඳහා බදු අඩු කිරීම හේතුවෙන්, රටේ ගොවි ජනතාවට අනිසි බලපෑමක් සිදු වීමට ඉඩ නොදෙන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එක් පැත්තකින් පාරිභෝගිකයා ආරක්ෂා කරන අතරතුර, අනෙක් පැත්තෙන් රටේ ගොවි ජනතාව ආරක්ෂා කර ගැනීම රජයේ වගකීම වන බවයි.

රවී කරුණානායක මහතා මේ බව කියා සිටියේ මට්ටක්කුලිය ශ්‍රී කල්‍යාණි ගංගාරාම විහාරස්ථානයේ නව ධර්ම ශාලාව සඳහා මුල් ගල තැබීමේ අවස්ථාවට එක් වෙමිනි. අමාත්‍යවරයාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉදි කෙරෙන මෙම ධර්ම ශාලාව සඳහා රුපියල් මිලියන 25ක මුදලක් වැය කෙරේ.

ජනතාවගේ හදවතට සේවය කිරීම සැබෑ දේශපාලනඥයා සතු කාර්යභාරය බව මෙහි දී සඳහන් කළ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා, ජනතා අපේක්ෂාවන් ඉටු කිරීමට යාමේ දී දූෂිතයන්ගේ චෝදනාවන්ට ලක් වීම සාමාන්‍ය තත්ත්වයක් බව ද කීය. එබැවින් එම චෝදනාවන්ගෙන් තව තවත් ශක්තිමත්ව ඉදිරියට ගමන් කරමින් ජනතාව වෙනුවෙන් සේවය කළ යුතු බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

වැඩි දුරටත් අදහස් දැක් වූ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා –

“ජීවන වියදම ඉහළ ගොස් ඇති බවට විවිධ පාර්ශ්ව චෝදනා කරනවා. නමුත් කියන දේ කරන ආණ්ඩුවක කොටස්කරුවන් විදියට අපි ඉතා ම පැහැදිලිව කියන්න කැමැතියි 2015 ජනවාරි 8 වැනිදට වඩා තාමත් මේ රටේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල පවතින්නේ අඩු තත්ත්වයකයි. අපි දින 100 ආණ්ඩුව විදියට අත්‍යාවශ්‍ය භාණ්ඩ 25ක මිල අඩු කළා. ඒ භාණ්ඩවලින් සහල් හැර අන් සියලු භාණ්ඩ එදා මිලට ම පවතිනවා

සහල් ආනයන බදු ඉවත් කිරීමට අපි කටයුතු කළා. ඒ අනුව සහල් සම්බන්ධයෙන් තිබුණ ගැටලුව දැන් අවම මට්ටමක පවතින්නෙ. තව දුරටත් වෙළෙඳුන් පැරැණි මිල ගණන් යටතේ සහල් අලෙවි කරන්න සූදනම් වෙනව නම් නීතිමය පියවර ගන්න අපි සූදානම්.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියන්නෙ කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් තියෙන නායකයෙක්. එතුමාගේ මගපෙන්වීම මත අපි සහල් මිල පාලනය සඳහා කටයුතු කළා. ඒ වගේ ම තමයි ආනයනික සහල්වල බදු අඩු කිරීම නිසා අපේ රටේ ගොවි ජනතාවට අයුතු බලපෑමක් වෙන්න ඉඩ නොතබන බවත් මෙහි දී සිහිපත් කළ යුතුයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා  අද ජාත්‍යන්තරය ජය ගනිමින් රටේ හෙට දවස ශක්තිමත් කරන්න වෙහෙසෙනවා. අපිට වැඩි ඈතකට නොගොස් අටේ අලුත් වෙනසක් ඇති කරන්න හැකිවේවි” යැයි ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය.

මෙම අවස්ථාවට විහාරාධිපති පූජ්‍ය කුඩාහීල්ලේ රතන හිමි, මෙලා කරුණානායක මහත්මිය සහ හිටපු නාගරික මන්ත්‍රී චමින්ද අලුත්ගෙදර මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

t

o

p