ලංකාවේ ආර්ථික වර්ධනය ඕස්ට්‍රේලියාව අගයයි

February 16, 2017

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය අගය කළ ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් (Hon. Malcolm Turnbull) මහතා මෙරට ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සහාය ලබා දෙන අතර දෙරට අතර ආයෝජන අවස්ථා පුළුල් කිරීමට ක්‍රියා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ ඊයේ (15) ප්‍රකාශ කළේය.
ඕස්ට්‍රේලියාවේ සිව් දින නිල සංචාරයක නිරත වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස ගෞරවයෙන් යුතුව පිළිගැනීමෙන් පසු කැන්බරා නුවර පාර්ලිමේන්තු මන්දිරයේදී පැවැති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා මේ බව සඳහන් කළේය.
ඉන්දීය සාගරයේ ආර්ථික හා මූල්‍ය කේන්ද්‍රස්ථානයක් බවට පත් වීමේ ප්‍රයත්නය සාර්ථක කර ගැනීම උදෙසා ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සහය ලබා දීමටත්, දෙරට අතර ආර්ථික, දේශපාලන හා සමාජයීය සබඳතා තව තවත් පුළුල් හා ශක්තිමත් කරලීමේ නව ප්‍රවේශයන් කරා එළැඹීමටත් ක්‍රියා කරන බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් (Hon. Malcolm Turnbull) මහතා පැවැසීය.
ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර පාර්ලිමේන්තු මන්දිරයේදී ඊයේ පෙරවරුවේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස හමුවෙමින් ටර්න්බුල් මහතා දෙරට අතර වසර 70 ක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සැමරීම නිමිති කොට ගෙන වික්‍රමසිංහ මහතාගේ ඕස්ට්‍රේලියානු නිල සංචාරය සංවිධානය කරලීමට ලැබිම සතුටට කරුණක් බව අවධාරණය කළේය.
ආර්ථික වර්ධනය කරලීම සහ ජාතික සමගිය හා සංහිඳියාව ඇති කරලීම සඳහා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් යටතේ ශ්‍රී ලංකාව නව මාවතකට ප්‍රවේශ වී තිබිම සම්බන්ධව අග්‍රාමාත්‍ය ටර්න්බුල් මහතා ප්‍රසාදය පළ කළේය. ශ්‍රී ලංකාවේ පැරණි මිතුරෙකු වශයෙන් සැම විටම ශ්‍රී ලංකාවට සහය ලබා දීමට මෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීමට ක්‍රියා කරන බව ද ඔහු අවධාරණය කළේය.
මෙහිදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා පැවැසූයේ ඕස්ට්‍රේලියානු – ශ්‍රී ලංකා මිත්‍රත්වය වසර 100කට අධික කාලයක් තිස්සේ පැවත එන බවය. ශ්‍රී ලංකාව අසීරු තත්ත්වයන්ට මුහුණ දුන් අවස්ථාවන්හි පවා ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතා විශේෂ ස්තුතිය පළ කළේය. දෙවන ලෝක යුද සමයේදීත්, පශ්චාත් යුද සමයේත් දෙරට අතර පැවති සම්බන්ධතා සිහිපත් කළ වික්‍රමසිංහ මහතා කොළඹ ක්‍රමය වැඩ සැලැස්ම ක්‍රියාවට නැංවීමත් සමගම දෙරටේ සම්බන්ධතාවන් නව මානයකට එසැවුණු බව පෙන්වා දුන්නේය.
මිනිස් ජාවාරම් වැළැක්වීම හා නීති විරෝධී සංක්‍රමණයන්ට වැට බැඳීම උදෙසා ශ්‍රී ලංකාව නිරතුරුවම ලබා දෙන සහයෝගය ටර්න්බුල් මහතාගේ පැසසීමට ලක්විය.
කලාපීය වෙළෙඳ කටයුතු ඉහළ නැංවීම සහ ‍පොදු රාජ්‍ය මණ්ඩලයීය කෝට්ටේ ප්‍රකාශනයට අනුව වෙළෙඳ සහ ආයෝජන අවස්ථා පුළුල් කරලීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර, කෘෂි ව්‍යාපාර, කැණීම්, බලශක්ති, සංචාරක ආදී ක්‍ෂේත්‍රයන් තුළ ආයෝජන අවස්ථා වැඩි දියුණු කරලීම සම්බන්ධවත්, ඒ ඒ ක්‍ෂේත්‍රයන්හි ගුණාත්මක භාවය හා තාක්ෂණික ශක්‍යතාවන් වැඩි දියුණු කිරීමේ අවස්ථාවන් සම්බන්ධවත් අදහස් හුවමාරු කර ගැනිණි.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ නව කඩිනම් සංවර්ධන ක්‍රියාවලියට අවශ්‍ය බලශක්ති උත්පාදනයේ දී ඕස්ට්‍රේලියාව වෙතින් ලබා ගත හැකි සහය සම්බන්ධව ද කරුණු පැහැදිලි කෙරිණි.
අධ්‍යාපන හා ආරක්ෂක ක්‍ෂේත්‍රයන් තුළ දැනට පවත්වාගෙන යනු ලබන ද්විපාර්ශ්වික සහයෝගිතා වැඩපිළිවෙළ අනාගතයේ දී මීටත් වඩා පුළුල් කළ යුතු බව දෙපාර්ශ්වයේම අදහස විය. විශේෂයෙන්ම දෙරටේ නාවික හමුදාවන් සම්බන්ධ කරමින් සමුද්‍ර ආරක්ෂාව සම්බන්ධව ගත යුතු ඒකාබද්ධ ක්‍රියාමාර්ගයන් පිළිබඳව සැලකිල්ල යොමු විණි.
ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙතින්, ඕස්ට්‍රේලියානු ආර්ථිකය හා වෙනත් ක්‍ෂේත්‍ර නගාසිටුවීම සඳහා ලැබෙන දායකත්වය අගය කළ ටර්න්බුල් මහතා, ඔවුන්ගෙන් ශ්‍රී ලංකාවට ලබා ගත හැකි සේවාවන් සම්බන්ධව ද අවධානය යොමු කළ යුතු බව පැවැසීය.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාංශයක් ස්ථාපිත කරලීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරුණු අතර, ඒ සඳහා සහය ලබා දීමට ඕස්ට්‍රේලියාව සූදානම් බව ටර්න්බුල් මහතා පැවැසීය.
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා සහභාගි වන මෙන් වික්‍රමසිංහ මහතා ඕස්ට්‍රේලියානු අගමැති ටර්න්බුල් මහතාට ආරාධනා කළේය. දෙපාර්ශ්වයටම ගැළපෙන අවකාශයක තමන්ට ඒ සඳහා සහභාගි වීමට හැකි බව ටර්න්බුල් මහතා පැවැසීය.
ඕස්ට්‍රේලියානු පාර්ශ්වය නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය දෙපාර්තමේන්තුවේ සහ කැබිනට් මණ්ඩල ‍ලේකම් මාර්ටින් පාර්කින්සන්, ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් බේ්‍ර හචෙසන් ඇතුළු නිලධාරීහු මේ අවස්ථාවට සහභාගි වූ අතර, වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා, වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, අග්‍රාමාත්‍ය ‍ලේකම් සමන් ඒකනායක, ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සෝමසුන්දරම් ස්කන්ධකුමාර්, අග්‍රාමාත්‍ය අතිරේක ‍ලේකම් සමන් අතාවුදහෙට්ටි, ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් හිමාලී අරුණතිලක,  අග්‍රාමාත්‍ය විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ශ්‍රී ලංකා පාර්ශ්වය නියෝජනය කරමින් මේ සාකච්ඡාවට එක්වූහ.

t

o

p