T20 ප්‍රථම අගමැති කණ්ඩායමේ තරඟය අගමැති දෙපලගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

February 15, 2017

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසයේ ඕවර විස්සයි විස්ස ක්‍රිකට් තරග මාලාවක් වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයාගේ කණ්ඩායම ක්‍රීඩා කරන පෙරහුරු තරගයක් සංවිධානය කළ පළමු අවස්ථාව ශ්‍රී ලංකාව වෙත ලබා දුන්නේ දෙරටේ මිත්‍රත්වය නිරූපණය කෙරෙන සංකේතයක් ලෙස බව ඔස්ට්‍රේලියානු  අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් (Hon. Malcom Turnbull) මහතා පැවසීය.

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර කැන්බරා නුවර මනුකා ඕවල් ක්‍රීඩාංගනයේ පැවති පෙරහුරු විස්සයි විස්ස තරගයට පෙරාතුව පැවති විශේෂ භෝජන සංග්‍රහය අවස්ථාවේ පැමිණ සිටි සම්භාවනීයයන් අමතමින් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා පැවසූයේ 1996 ලෝක කුසලාන ක්‍රිකට් තරග මාලාවේ අවසන් තරගයේ දී ඔස්ට්‍රේලියාව පරාජයට පත් කළ ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන් අර්ජුන රණතුංග මහතා ද මේ අවස්ථාවට එක්ව සිටීම ඓතිහාසික සංසිද්ධියක් බවය.

මනුකා ඕවල් ක්‍රිඩාංගනයේ ශ්‍රීමත් ඩොනලඩ් බ්‍රැඩ්මන් ක්‍රීඩාගාරයේ පැවති භෝජන සංග්‍රහයට ඔස්ට්‍රේලියානු අමාත්‍යවරු, ප්‍රධාන අමාත්‍යවරු, රාජ්‍ය තාන්ත්‍රිකයන්, විද්වත් වෘත්තිකයන්, විශ්‍රාමික ක්‍රීඩකයන් ඇතුළු සම්භාවනීයයන් සහභාගී වූහ.

මෙහිදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා පැවසූයේ දෙරට අතර ඇති සමානකම් අතර ක්‍රිකට් උන්මාදය මුල් තැනක් ගන්නා බවය. දෙරටේ මිත්‍රත්වය තහවුරු කරලීමට ක්‍රිකට් ක්‍රිඩාව උපයෝගී කර ගත හැකි බව පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා, ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසයේ මුල් වතාවට විස්සයි විස්ස තරග මාලාවකට පෙරහුරු තරගයකට අග්‍රාමාත්‍යවරයාගේ කණ්ඩායම ලබා දීම පිළිබඳව ස්තුතිය පළ කළේය.

භෝජන සංග්‍රහයෙන් අනතුරුව තරගයේ ආරම්භක උළෙල පැවති අතර, කාසියේ වාසිය උරගා බලන අවස්ථාවට ද අග්‍රාමාත්‍යවරු දෙපළ සහභාගී වූහ. කාසියේ වාසිය උරගා බලන ලද්දේ ශ්‍රී ලංකාවේ කාසියක් උපයෝගී කර ගනිමිනි.

කණ්ඩායම් දෙක සමග සමරු ඡායාරූප සඳහා ද අග්‍රාමාත්‍යවරු පෙනී සිටියහ. ඉන්පසු දෙරටේ ජාතික ගීත ගායනා කෙරිණි.

කාසියේ වාසිය ලද ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමේ අවස්ථාව ඔස්ට්‍රේලියානු පිල වෙත ලබා දුන් අතර අග්‍රාමාත්‍යවරු දෙපළ ප්‍රමුඛ සභාවනීයයන් තරගය නැරඹිමට එක්වූහ.
T20-cricket-match1 T20-cricket-match2 T20-cricket-match3 T20-cricket-match4 T20-cricket-match5

t

o

p