සහල් පාලන මිල අද ගැසට් කරනවා හෙට සිට සම්බා 80, නාඩු 72යි

February 8, 2017

ජනතාවට අවශ්‍ය සහල් අඩු මිලට සැපයීම සඳහා රජය කටයුතු සම්පාදනය කර ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි අද (08) පැවසීය.

මීට අදාළ ගැසට් පත්‍රයද අද (08) දිනයේදී මුද්‍රණයට යොමුකර ඇති බවද පාර්ලිමේන්තුවේදී හෙළි කෙරිණ.

මේ අනුව හෙට(09) සිට සම්බා සහල් කිලෝවක් රුපියල් අසූවක් හා නාඩු සහල් කිලෝවක් රුපියල් හැටදෙකක් වැනි මිලකට අලෙවි කිරීමට රජය සැළසුම් කර ඇත.

සහල් මිල අඩු කිරීමට මෙන්ම පවතින ඒකාධිකාරය බිඳ දැමීම වෙනුවෙන් රජය මේ වනවිට සහල් මෙට්‍රික් ටොන් 51919ක් ආනයනය කර ඇති බවත් ඉදිරි දිනවල තවත් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට රජය තීරණය කරඇති බවත් අගමැතිවරයා පැවසීය.

නාඩු ,සම්බා, ඇතුළු සහල් වර්ග හතරක් මේ අනුව ආනයනය කර ඇති බවත් අගමැතිවරයා පැවසීය.

සහල් ආනයනය කිරීමේදී වෙළෙදුන්ට සහන සැළසිම සඳහා ආනයනික භාණ්ඩ මත පනවා තිබූ විශේෂ වෙළෙද භාණ්ඩ  බද්ධ රුපියල් පහළොවේ සිට රුපියල් පහ දක්වා අඩුකළ බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කීය.

වී  සහ සහල් වෙළෙදපොළ ආරක්ෂා කිරීමට වත්මන් රජය සිදුකරන්නේ මොනවාද යන ප්‍රශ්නය  විමසන පසුගිය ආණ්ඩුව 2014 වසරේදී එකම වී ඇටයක්වත් ගොවීන්ගෙන් මිලදී ගෙන ‍නොමැති බවත් සඳහන් කළේය.එමෙන්ම වත්මන් රජය 2015-2016 වසර දෙක තුළදී වි මෙට්‍රික් ටොන් තුන්ලක්ෂ තිස්පන් දහසක් මිලදීගෙන වි සඳහා සහතික මිලක් ලබාදීමට කටයුතු කළ බවත් පැවසීය.කීරි සම්බා,සම්බා,හා නාඩු සඳහා රුපියල් 50,හා 45 බැගින් ඉහළ සහතික මිලක් ලබාදුන් බව අගමැතිවරයා සඳහන් කළේය.

අගමැතිවරයාගෙන් විමසන ප්‍රශ්න වටය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී සී බී රත්නායක මහතා විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

පවතින දැඩි නියඟය හේතුවෙන් සහල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් රජය කණගාටුවන බවත් අගමැතිවරයා කීය.

ඉදිරි සති දෙක ඇතුළත සහල් මිල අඩුකිරීම, විදේශයන්ගෙන් ආනයනය කිරීමට අමතරව දේශිය සහල් කළමණාකරණය හා වී මෝල් හිමියන් දෙසීයකට වී තොග ලබාදීම, ලක් සතොස සඳහා වී මෙට්‍රික් ටොන් තිස් දහසක් ලබාදෙන බවත් අගමැතිවරයා සඳහන් කළේය. සමස්ත පාරිභෝගිකයින්ගේ පහසුව සඳහා සහල් මිල අඩුකිරිම වෙනුවෙන් ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවත් අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

t

o

p