රංජන් ගල්කොරියක් ඉල්ලූ ලිපියක් මැතිසබයට

February 8, 2017

මහ මැතිවරණයේදී සහය දුන් පිරිසකට වරාය නගරයට ගල් සැපයීම සඳහා දිවුලපිටියේ ගල් කොරියක අවස්ථාවක් ලබා දෙන ලෙස රන්ජන් රාමනායක මහතා ඉල්ලා සිටීමේ ලිපිය සභාගත කරන අතර එය බොරුවක් නම් තමන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙන බව ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) ප්‍රකාශ කළේය.
එම චෝදනාව සම්පූර්ණ අසත්‍යක් බවත්, එම නිසා මන්ත්‍රීවරයා ඉල්ලා අස්වීම සුදුසු බවත් මේ අවස්ථාවේදී සමාජ සුබසාධන හා සමාජ සවිබල ගැන්වීමේ නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කළේය. මන්ත්‍රීවරයා ඊට අදාළ ලිපිය කියවීමෙන් පසුව නියෝජ්‍ය ඇමැතිවරයා කීවේ තමන් ඉල්ලා ඇත්තේ ගල් කොරියක හිමිකමක් දීමට නොව එතනට යන මාර්ගය සකස් කර දෙන ලෙස පමණක් බවයි.
මෙහිදී විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා රන්ජන් රාමනායක මහතා එවැනි ලිපියක් දී නැතිනම් මන්ත්‍රීවරයා සභාගත කළ ලිපිය රස පරීක්ෂකවරයාට යවා පරීක්ෂා කළ යුතු බව ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුව තුළ අසත්‍ය චෝදනා කළ නොහැකි බව කී නියෝජ්‍ය ඇමැතිවරයා මේ පිළිබඳ විශේෂ පරීක්ෂණයක් කරනා ලෙසද ඉල්ලා සිටියේය.
රන්ජන් රාමනායක මහතා කීවේ මන්ත්‍රීවරයා සභාගත කර ඇත්තේ කබිර් හෂීම් ඇමැතිවරයාට යැවූ ලිපියක් බවත්, එහි ගල් කොරියක කටයුතු සඳහා තම පාක්ෂිකයන්ට අවස්ථාව දෙන ලෙස ඉල්ලා නොමැති අතර එහි ඇත්තේ මාර්ගය සකස් කිරීම පමණක් බවය.
මේ නිසා ඔහු ඉල්ලා අස්වෙන ලෙසද නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය. මේ අවස්ථාවේ ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීවරයා සභාවේ නොසිටි අතර පසුව පැමිණි ඔහු කියා සිටියේ තමන් කළේ සත්‍ය ප්‍රකාශයක් බවත් එම නිසා ඉල්ලා අස්වීමට අවශ්‍යතාවක් නැති බවත්ය.

t

o

p