සීනි නිෂ්පාදනයෙන් රට ස්වයංපෝෂිත කිරීමේ නව වැඩපිළිවෙළක්

October 19, 2016

ශ්‍රී ලංකාව සීනි නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත කිරීමේ අරමුණෙන් ඒ සඳහා අවශ්‍ය උක් වගාව ප්‍රවර්ධනය කර, නව කර්මාන්ත ශාලා 15 ක් ස්ථාපිත කිරීමේ කටයුතු සම්පාදනය කර ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දිගු කාලීන සහ මධ්‍ය කාලීන වැඩපිළිවෙළ වශයෙන් දෙආකාරයට මෙය ක්‍රියාවට නංවන බවයි.  මෙහි ප්‍රථම අදියර යටතේ 2020 වසර වන විට රටේ සමස්ත සීනි අවශ්‍යතාවයෙන්  50% ක් දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති  බව ද අමාත්‍යවරයා කියා සිටියි.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කරනු ලැබූ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ නිර්දේශය ඇතුළත්ව මේ සඳහා ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයට පසුගිය දා අනුමැතිය ලැබිණි.

දැනට ශ්‍රී ලංකාවේ සීනි කර්මාන්ත ශාලා 04 ක් පවතින අතර එමගින් මෙට්‍රික් ටොන් 56,000 ක් පමණ වාර්ෂිකව සීනි නිෂ්පාදනය කරනු ලබයි. මෙට්‍රික් ටොන්  හත් ලක්ෂයක් පමණ වන වාර්ෂික පරිභෝජන අවශ්‍යතාවය හා සසඳන විට මෙය අවශ්‍යතාවයෙන් 8% ක ප්‍රමාණයකි.

1950 වර්ෂයේදී රාජ්‍ය ව්‍යාපාරයක් ලෙස අරඹන ලද  ශ්‍රී ලංකාවේ සීනි කර්මාන්තය, උක් වගාවේ  පරිහානිය හා කර්මාන්ත ශාලාවල අකාර්යක්ෂමතාවය හේතුවෙන් සීනි නිෂ්පාදනය විශාල වශයෙන් අඩුවී ඇත.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පසුගිය දා ඉදිරිපත් කරන ලද සීනි කර්මාන්තය සංවර්ධනය කිරීමේ ප්‍රතිපත්ති රාමුව සඳහා අනුමැතිය ලැබී ඇති අතර එමගින් 2025 වසර වන විට සීනි නිෂ්පාදනයෙන්  රට ස්වයං පෝෂිත වීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දිගු කාලීන සංවර්ධන ප්‍රතිපත්ති යටතේ පෞද්ගලික අංශයේ ද සහය ඇතිව මෙම වැඩපිළිවෙළ ඒකාබද්ධ ව ක්‍රියාත්මක කරනු ලැබේ.

වර්තමානයේ දී සීනි කර්මාන්තය පිළිබඳ ව කටයුතු කරන ආයතන කිහිපයක් පවතින අතර ඒවා විවිධ අමාත්‍යාංශ යටතේ අධීක්ෂණය වෙමින් පවතී. දැනට තිබෙන සීනි කර්මාන්ත ශාලා හතර සතුව පවතින ඉඩම් හෙක්ටයාර් 26,000 ට අමතරව 2020 දී 50% ක ස්වයංපෝෂිත තත්වයට පැමිණීමට නම් අලුතින් හෙක්ටයාර් 31,000 ක උක් වගා කළ යුතු වේ. සීනි නිෂ්පාදනයේ මුළුමනින් ම ස්වයංපෝෂිත වීමට නම්  ඉඩම් හෙක්ටයාර් එක් ලක්ෂ දෙදාහක (102,000) පමණ උක් වගා කළ යුතු යැයි ගණන් බලා තිබේ.  මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන්  හා අමාත්‍යවරුන් වන රිෂාඩ් බදුර්දීන්, දයා ගමගේ, රවුෆ් හකීම්, පී. හැරිසන්, ගාමිණී විජිත් විජිතමුණි සොයිසා, රංජිත් මද්දුම බණ්ඩාර සහ කබීර් හෂිම් යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් පත්කර ඇති අමාත්‍ය මණ්ඩල අනුකමිටුව මේ පිළිබඳ ව සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

මොණරාගල, මඩකළපුව, කිලිනොච්චිය, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, අම්පාර, බදුල්ල හා පොළොන්නරුව යන දිස්ත්‍රික්කයන් හි  උක් වගාව සඳහා යොදාගත හැකි  ඉඩම් හෙක්ටයාර් එක් ලක්ෂ හාරදහසක් පමණ හඳුනාගෙන ඇති අතර  ශ්‍රී ලංකාව සීනිවලින්  ස්වයංපෝෂිත වීමට නම් මේ යටතේ අතුරු නිෂ්පාදනයන් සහිතව සීනි කර්මාන්තශාලා 15 ක් පමණ අලුතින් පිහිටුවීමේ අවශ්‍යතාවය පවතින බවත් අදාළ කමිටුව විසින් හඳුනාගෙන ඇත.

උක් වගාවේ ප්‍රතිලාභ ප්‍රාදේශීය සුළු ගොවින්ටද ලබා දීමට හැකි වන පරිදි මෙම කර්මාන්ත ශාලා විසින්  සුළු ගොවින් සම්බන්ධ කර ගන්නා වගා ක්‍රමයක් හඳුන්වා දීමට තීරණය කර ඇති අතර  ඒ අයුරින් උක් වගාකරන එක් ගොවි පවුලකට මසකට රු.30,000/- ක පමණ අවම ආදායමක් ලබා ගැනීමට හැකි වෙතැයි අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකාවේ වාර්ෂික සීනි  අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් හත් ලක්ෂයක් පමණ වන අතර එයින් 92% පමණ වන මෙට්‍රික් ටොන් 644,000 ක් ආනයනය කිරීම සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 35 පමණ වැය වේ. සීනි මුළුමනින් ම  ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කිරීමෙන් වාර්ෂිකව විදේශ රටවල් වෙත ඇදී යන  රුපියල් බිලියන 35 මුදල රටට ඉතිරි කර ගැනීමට හැකිවීමට අමතරව සීනි නිෂ්පාදනයේ දී  ඇතිවන්නා වූ අතුරු නිෂ්පාදන හේතුවෙන් දැනට කිලෝවක් සඳහා රුපියල් 98/- වන නිෂ්පාදනය පිරිවැය රුපියල් 70/- දක්වා අඩු කිරීමට ද හැකි වන බැවින් පාර්භෝගික ජනතාවට දැනට වඩා අඩු මිලට සීනි ලබා දීමට හැකිවනු ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පෙන්වා දෙයි.

සීනි කර්මාන්තය දියුණු කිරීම සඳහා ප්‍රතිපත්තිමය තීරණ ගතයුතු ක්ෂේත්‍ර හතක් හා ඊට අදාළ ක්‍රියාකාරී සැලැස්මක් ද මේ සඳහා වන  සංවර්ධන ප්‍රතිපත්ති රාමුව මගින් හඳුනා ගෙන ඇත. ඒ අනුව සීනි කර්මාන්තයට අවශ්‍ය නීතිමය, සංස්ථායික සහ නියාමන ක්‍රියා පිළිවෙතක් ඇති කිරිම සඳහා සහ සීනි කර්මාන්තය තුළ ආයෝජන හා ක්‍රියාකාරිත්වය සඳහා රාජ්‍ය හා පෞද්ගලික සහභාගිත්වය දියුණු කිරීම සඳහා ආයෝජන ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමට නියමිතය. තවද ඉහළ ගුණාත්මක බවින් යුතු උක් වගාවක් ඇති කිරිම, සීනි වෙළෙඳපොළ මිල ස්ථාවර කිරීම මගින් සාධාරණ මිල ක්‍රමයක් හදුන්වා දීම උක් වගාව සඳහා අවශ්‍ය වාරිමාර්ග පහසුකම් දියුණුකිරීම සඳහා  යටිතල පහසුකම් සංවර්ධන කිරීම සහ සීනි කර්මාන්තයේ නියැලෙන ශ්‍රමිකයන් සවිබල ගැන්වීම සඳහා මිනිස් බල සංවර්ධන ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීම ද මෙම ජාතික සංවර්ධන රාමුවට ඇතුළත් වේ.

සිසිර විජේසිංහ,
මාධ්‍ය ලේකම්,
මුදල් අමාත්‍යාංශය.

t

o

p