මීගමුවේ ධීවරයින් මාරාන්තික උපවාසයකට සැරසේ

October 18, 2016

කොළඹ මූල්‍ය නගර ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා මීගමුව ආශ්‍රිත ගැඹුරු මුහුදෙන් වැලි හැරීමට විරෝධය පළ කරමින් ඊයේ (17) පෙරවරුවේ මීගමුවේ ධීවරයින් පිරිසක් විරෝධතාවක නිරත විය.
ඔවුන් ඊයේ පෙරවරුවේ ආරම්භ කළ විරෝධතාවය හේතුවෙන් කොළඹ – හලාවත ප්‍රධාන මාර්ගය ද දුම්රිය මාර්ගයද තෙල්වත්ත සහ ගල්කන්ද යන මංසන්ධිවලින් අවහිර වූ අතර ඉන් මාර්ගයේ ගමනාගමන කටයුතුවලට ද බාධා එල්ල විය.
මෙම විරෝධතාවය සඳහා මීගමුව, දූව, පලගතුර, පල්ලියවත්ත ආදි ප්‍රදේශවල ධීවරයින් ද එක්ව සිටියේය.
ඊයේ පොලීසිය විසින් එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරයත් සමඟ විරෝධතාකරුවන් විසිර ගියද අද (18) උදෑසන විට ඔවුන් යළි මීගමුව නගර සභා භූමියට පැමිණ තිබේ.
ඔවුන් ඉල්ලා සිටින්නේ මෙලෙස මීගමුව මුහුදු තීරයේ වැලි ඉවත් කිරීමෙන් මුහුදු තීරය අවට මත්ස්‍ය සම්පත විනාශ වීමේ අවදානමක් පවතින බැවින් කඩිනමින් මෙම වැලි ඉවත් කිරීමේ කටයුතු නතර කර දෙන ලෙසයි.
තම ඉල්ලීමට ප්‍රතිචාර නොදැක්වුවහොත් මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට සූදානම් බව ද ඔවුන් වැඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියේය.

t

o

p