ස්වාධින කොමිෂන් සභාවල ස්වාධිනත්වයට හානියක් නැහැ – කථානායක දැනුම් දෙයි

October 17, 2016

ස්වාධීන කොමිෂන් සභාවල ස්වාධීනත්වයට හානි වන අන්දමේ කිසිදු බලපෑමකට ඉඩ නොදිය යුතුය යන ස්ථාවරයෙහි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිටින බව කථානායක කරු ජයසූරිය මහතා සියලූම ස්වාධින කොමිෂන් සභාවල සභාපතිවරුන් ප්‍රමුඛ සාමාජිකයන් සියලු දෙනා වෙත දැනුම් දී ඇත.

වර්තමානය වන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් ස්ථාපිත කරන ලදුව ක්‍රියාත්මක වන ස්වාධීන කොමිෂන් සභාවල ක්‍රියාකාරීත්වය පිළිබඳව රජයේ ඉහළ අංශවලින් යම් අපැහැදිලි තත්ත්වයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත වාර්තා කර තිබේ ද යන්න පිළිබඳව ස්වාධීන කොමිෂන් සභාවල සභාපතිවරුන් සහ සාමාජිකයන් බොහෝ දෙනෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන කථානායක කරු ජයසූරිය මහතාගෙන් කරුණු පැහැදිලි කිරීම් අපේක්ෂාවෙන් දුරකතන ඇමතුම් ලබාදී ඇති අතර එහිදි කථානායකවරයා මේ බව කියා ඇත.

මෙහිදී අදාළ අංශ සමග ද අදහස් හුවමාරු කර ගැනීමෙන් අනතුරුව කථානායකවරයා විසින් පහත සඳහන් ආකාරයට කරුණු පැහැදිලි කර තිබේන බව කථානායක කාර්යාලය නිවේදනය කරයි.

සමස්තයක් වශයෙන් ඒ ඒ  ස්වාධීන කොමිෂන් සභාවන් හි ක්‍රියාකාරීත්වය හෝ ස්වාධීනත්වය පිළිබඳව ජනපතිතුමන් හෝ අගමැතිතුමන් විසින් කිසියම් අපැහැදිමක් හෝ එකිනෙකට වෙනස් කරුණු දැක්වීමක් සිදු නොකරන ලදී.

ඒ අනුව ඉදිරියේදීද ස්වාධීන කොමිෂන් සභාවල ස්වාධීනත්වයට හානි වන අන්දමේ කිසිදු බලපෑමකට ඉඩ නොදිය යුතුය යන ස්ථාවරයෙහි  ජනාධිපතිතුමන් සහ  අග්‍රාමාත්‍යතුමන් සිටින බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස තමාට පැහැදිලිවම ප්‍රකාශ කළ හැකි බව ගරු කථානායකවරයා පෙන්වා දෙනු ලැබිණි.

ජනතාව‍ගේ ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් ආරක්ෂා කරනු වස් බහුතර ජනතා කැමැත්ත පරිදි ජනමතයට අනුකූලව බිහි කළ මෙම අතිශය වැදගත් කොමිෂන් සභා මගින් ඉටු කරනු ලබන ජාතික මෙහෙවර විශ්වාසයෙන් යුතුව ඉටු කරන ලෙසත්,  එම ගෞරවනීය මෙහෙවර සෑම විටකම අගය කිරීමට නොපැකිලෙන බවත්, සියළුම සභාපතිවරුන් හා සාමාජිකයන් දැනුවත් කෙරුණු අතර,  ජනාධිපතිතුමන් සහ අග්‍රාමාත්‍යතුමන් මෙන්ම අදාළ අනිකුත් පාර්ශව සමගද සම්බන්ධීකරණය ගොඩ නගමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පූර්ණ ශක්තිය සහ ආශිර්වාදය ස්වාධීන කොමිෂන් සභා වෙත ලබා දීමට එහි සභාපතිවරයා ලෙස තමා කටයුතු කරන බවත්  කථානායකතුමා දන්වා සිටින ලදී.

 

t

o

p