මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හරහා ගෙඩනැගී ඇති “සයිටම්” විරෝධතාවය

October 8, 2016

පසුගිය මාස ගණනාව තුළ මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හේතු කර ගෙන (සයිටම්) විශ්ව විද්‍යාල විරෝධතා ව්‍යාපාරයක් දිගින් දිගටම පැවැති අතර මේ වන විටත් ඒ සම්බන්ධයෙන් නිශ්චිත විසඳුමකට රජය පැමිණ නොමැති බවක් පෙනේ. විශේෂයෙන්ම මෙම කාරණය සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ද මැදිහත් ව තිබිම මෙම ගැටලූකාරි තත්ත්වය තව දුරටත් උත්සන්න වීමට හේතුවකි.
දැනටමත් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කර වසර ගණනාවක් වන අතර එම විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන වත්මන් සිසුන්ගේ අධ්‍යාපනය ගැන අවධානමක් ද පවතී. මේ නිසාම මෙම කරුණ ගැන පැහැදිලි මෙන්ම ස්ථාවර නිගමනයකට රජය පැමිණිය යුතුය.
අධ්‍යාපනය සෑම කෙනෙකුටම අයිතිය. රජයක පරම වගකිම වන්නේ සියලූ පුරවැසියන්ට අධ්‍යාපන අවස්ථාවන් ලබා දීමය. ලෝකය පුරා අධ්‍යාපනය ව්‍යාපාරයක් බවට ද පත් වෙමින් තිබෙන බව පෙනේ. විශේෂයෙන්ම යුරෝපා රටවල මෙන්ම ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටවල් ද අධ්‍යාපනය මුදලට ලබා දීම සිදු කරයි.
අප අසල්වැසි රට වන ඉන්දියාව හා නේපාලය, බංගලිදේශය වැනි රටවල් පවා විදේශ සිසුන් සඳහා මුදලට අධ්‍යපන අවස්ථා ලබා දීම සිදු කෙරෙන අතර මෑත කාලයේ නැගෙනහිර යුරෝපය ද විශ්ව විද්‍යාල හා තාක්ෂණික අධ්‍යාපනය බාහිර අයට විවෘත කර තිබේ.
ලෝකයේ බොහෝ ධනවත් රටවල් අධ්‍යාපනය තම ජාතික අදායම උපයන මාධ්‍යයක් වශයෙන් යොදාගෙන තිබිම අදටත් අපට දක්නට ලැබේ. එංගලන්තය, ඕස්ට්‍රේලියාව වැනි රටවල් තම ජාතික ආදායමෙන් විශාල ප්‍රතිශතයක් උපයනු ලබන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල හා අධ්‍යාපන අවස්ථා ලබාදීම මගිනි. මේ අනුව බලන විට අධ්‍යාපනය යනු වර්තමානයේ මුදල් ඉපයිය හැකි සාර්ථක ආදායම් මාර්ගයක් බව පැහැදිලිය.
ශ්‍රී ලංකාවේ ද පෞද්ගලික අධ්‍යාපන ආයතන, පාසල් හා වෙනත් ඩිප්ලෝමා සහ අනුබද්ධ විශ්ව විද්‍යාල පාඨමාලා පෞද්ගලික අංශය මගින් දැනටමත් කරගෙන යනු ලබයි.
ශ්‍රී ලංකාව වැනි රටවල අධ්‍යාපනය විකිණිම යැයි මාතෘකව යොදාගනිමින් මෙම විරෝධතාවය මතු වන්නේ කුමක් හේතු කරගෙන ද යන්න විමසා බැලිය යුතුය. මීට වසර ගණනාවකට ප්‍රථම උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කළ අවස්ථාවේදි විශ්ව විද්‍යාල හා අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල කැලබීලි සහගත තත්ත්වයක් මතු වූ අතර එයට ජනතා විරෝධයක් ද එක් විය.
එයට හේතුව වූයේ අධ්‍යාපන අවස්ථාන් පුළුල් කිරිම සඳහා පෞද්ගලික අංශයේ සහාය ලබා ගැනිමේ ක්‍රම උපාය පිළිබඳව ජනතාව දැනුවත් නොකිරිමය. දෙවන හේතුව වූයේ මෙම විශ්ව විද්‍යාලය සඳහා සිසුන් ඇතුළත් කර ගැනිමේ නිශ්චිත ක්‍රමවේදයක් නොමැති වීම හා සම්ප්‍රධායෙන් පිට සිසුන් ඇතුළත් කර ගැනිම හරහා ඇති වූ විරෝධතාවයයි.
මේ නිසාම මෙම වෛද්‍ය විද්‍යාලය අවසානයේ කැළණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය වශයෙන් රජයට පවරා ගැනිමට සිදු විය.
අද වන විටත් උසස් පෙළ සමත් වන සියලූ දරුවන්ට උසස් අධ්‍යාපනය ලබා දීමට රජයට අවස්ථාවක් ලැබී නැත. එයට හේතුව වී ඇත්තේ රාජ්‍ය විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන පද්ධතිය සීමා වීමයි. එය පුළුල් කිරිමට රජයට දරන්නට සිදුවන පිරිවැය එකවර ඉහල දැමීමට රජයට අවකාශයක් නොමැති බව පැහැදිලිය.
එසේ නම් ඒ සදහා පෞද්ගලික අංශයේ සහාය ලබා ගැනිම අවශ්‍යමය. එහිදි වැදගත් වන්නේ මෙසේ ආරම්භ කරන ආයතන පොදු ප්‍රතිපත්තියක් අනුව පාලනය කිරිම හා බඳවා ගැනිම්වලදී විනිවිද භාවයකින් හා විශ්වාසනීයත්වයකින් සිදු කිරිමය.
පෞද්ගලික අංශයේ විශ්ව විද්‍යාල නිදැල්ලේ ආරම්භ කිරිමට ඉඩදීම සුදුසු නොවේ. ඒ අනුව කළ යුතුව ඇත්තේ රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරිමය. පාලනය කිරිමේදි උසස් අධ්‍යාපන ආයතන පාලනය කිරිමේ රාජ්‍ය සභාවක් හෝ ආයතනයක් ඇති කළ යුතු අතර ඒ මගින් සිසුන් ඇතුළත් කර ගැනීමේ ප්‍රතිපත්ති හා සුදුසුකම් නියම කිරිම ආචාර්යවරුන් ප්‍රමිතිගත කිරිම, විභාග ඇගයීම් හා කළමනාකරණය, ආයතනික මෙහෙයුම් විමර්ශනය කිරිම සහ මෙම ආයතනවලට ද යම් ප්‍රතිශතයක් විදේශ ශිෂ්‍යයන්ට විවෘත කර ලෝකය හා සම්බන්ධ කරමින් ක්‍රියා කිරිම ඉතා වැදගත්ය.
පුහු විරෝධතා හෝ සාම්ප්‍රදායික සටන් පාඨ අද ට නොගැලපේ. එම නිසා සයිටම් වෛද්‍ය විද්‍යාලයේ සැබෑ ගැටලූවට විසදුම වන්නේ ද රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපාතියක් බවට මෙම ආයතනය පත් කිරීමයි. එය අනාගත බුද්ධිමතුන් වැඩි වැඩියෙන් බිහි කිරිමට හේතුවක් වනු ඇත.

තිස්ස අත්තනායක

t

o

p