වැට් වල තවත් අවුලක්

October 5, 2016

වැට් බදු ඉහළ දැමිමේ පනත් කෙටුම්පත කැබිනට් අනුමැතියට පෙර ගැසට් කිරිම සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලයාධිපතිවරයා සහ නිතිපතිවරයා නිකුත් කළ ලිපි වැඩබලන මුදල් ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඊයේ (05) ඉදිරිපත් කළ අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් ඇති විය.
මුද්‍රණාලයාධිපතිවරයා හා නිතිපතිවරයා ඉදිරිපත් කළ ලිපි අනුව මෙය නිවැරදිව ඉදිරිපත් කර ඇතැයි කතානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කිරිමත් නැගි සිටි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු විරෝධය පළ කරන්නට වූහ.
වැට් බදු පනත කැබිනට් මණ්ඩලය සැප්තැම්බර් 12 දා අනුමත කර තිබුණත් ඊට අදාළ ගැසට් නිවේදනය මුද්‍රණය කළ දිනය ලෙස සැප්තැම්බර් 09 දා ලෙස සටහන්ව ඇතැයි විපක්ෂයේ මන්ත්‍රීවරු ප්‍රකාශ කරන්නට වූහ.
ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා – රජයේ මුද්‍රණාලයාධිපතිවරයා ඔහුගේ ලිපියේ ගැසට් පත්‍රය නිකුත් කරන්නේ සෑම සිකුරාදා දිනකම බව සඳහන් කර තිබෙනවා. ඉන් පසුව ඊළග සිකුරාදා දක්වා අතර මැද කාලයේදි අතිරේක ගැසට් පත්‍රයන් නිකුත් කරනවා. ඒ නිසා අතිරේක ගැසට් පත්‍රයේ මුල් සිකුරාදා දිනයත් අතිරේක දිනයත් සටහන් වෙනවා. ඒ නිසා මුද්‍රණාලයාධිපතිවරයා පැහැදිලිව සඳහන් කර තිබෙනවා මේ දින දෙකෙන් දෙවන දිනය තමයි වලංගු දිනය කියලා.
බන්දුල ගුණවර්ධන මහතා – අපි නගපු තර්කය වන්නේ කැබිනට් අනුමැතිය නැතිව ගැසට් එක මුද්‍රණය කිරිම ගැනයි.
සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා – පාර්ලිමේන්තු සම්ප්‍රදායක් තියෙනවා කැබිනට් අනුමැතිය ලැබු පසු ඉදිරිපත් කළ හැකියි කියලා. මේක පාර්ලිමේන්තුව  දිසාපති කාර්යාලයක් නොවෙයි….
බන්දුල ගුණවර්ධන මහතා – කච්චේරිය මීට වඩා හොදයි. එතන මීට වඩා හොදට වැඩ කරනවා
ඇමති එස්.බි දිසානායක මහතා – ඇමතිවරයාට පුලූවන් කැබිනට් එකට දාන්න කලින් ගැසට් කරන්න කැබිනට් එක ඒ පනත අනුමත කළේ නැතිනම් ගැසට් එක අවලංගු වෙනවා.
ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා – 13 වනදා ගැසට් පත්‍රය අතිරේක ගැසට් පත්‍රය ලෙස පිළිගන්න කියලා නිතිපතිවරයාත් මුද්‍රණාලයාධිපතිවරයාත් කියා තිබෙනවා.
විමල් වීරවංශ මහතා – මීට කලින් පනත්වලට මේ අර්ථනිරූපනය නිතිපතිගෙන් මූද්‍රණාලයාධිපතිගෙන් අරගෙන නැහැ.
කතානායක- වාදයක් ඇති වූ නිසා තමයි මේක ගෙන්න ගත්තේ…. එහි වරදක් නැහැ.
දිනේෂ් ගුණවර්ධන මහතා – වැඩබලන මුදල් ඇමති මේ ප්‍රශ්නය යළි විවෘත කලා. මුද්‍රණාලයාධිපතිගේ ලිපියක් කියෙව්වා. ඒක අදාළ වෙන්නේ නැහැ. නිතිපතිගේ ලිපියකුත් කියෙව්වා. ඒ ලියුමේ එක වචනයක්වත් නැහැ මේ ගැසට් පත්‍රය මුද්‍රණය කළ දිනය පිළිබඳව…. මේ සභාව නොමඟ යවන්න එපා මේක ඉතා වැදගත් නිතිමය කරුණක්.
කතානායක – වැඩබලන මුදල් ඇමති මේ ලේඛන ඉදිරිපත් කරන්න එකඟ වුනා. ඒකයි අද ඉදිරිපත් කළේ….
ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා – වෙන තැනක් තියෙනවා අර්ථ නිරූපන ගන්න. ඒක එතනදි ගත්තට කමක් නැහැ. එහෙම වුනොත් ඒ තීරණය අපි පිළිගන්නවා.
විමල් වීරවංශ මහතා – සාවධානව මට ඇහුම්කන් දෙන්න කියලා ඉල්ලනවා. නිතිපතිගේ ලිපියෙන් මේ ප්‍රශ්නය නිරවුල් වෙන්නේ නැහැ. ඒ ලිපියේ මේ කරුණු සඳහන් වී ඇත්නම් තවදුරටත් කතා කරන්න උවමනාවක් නැහැ. කතානායකතුමනි ඔබතුමා මේ ලිපිය ඉවසීමෙන් යුතුව පරික්ෂා කර බලන්න.
කතානායක – මම බැලූවා.
විමල් විරවංශ මහතා – බලලා සාකච්ඡා කරලානේ ආවේ.
නියෝජ්‍ය ඇමති සුජිව සේනසිංහ මහතා – නිතිමය ප්‍රශ්නයක් තියෙනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පුළුවන්. මෙතන කතානායකතුමා තිරණයක් දීලා ඉවරයි.

t

o

p