බාහිර උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගැනිම සීමා කරලා

September 21, 2016

බාහිර උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගැනිම සීමා කිරිම තුළ සිසුන්ගේ අධ්‍යාපන අයිතිය රජය අහිමි කරමින් සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (21) ප්‍රකාශ කළේය.
ස්ථාවර නියෝග 23/2 යටතේ ප්‍රශ්නයක් මතු කරමින් මන්ත්‍රීවරයා මෙසේද කීය.
උසස් පෙළ සමත් එහෙත් ඉඩකඩ නොමැතිවීම නිසා විශ්ව විද්‍යාලයට ඇතුළත්වීමට නොහැකිව අසාධාරණයට ලක් වූ විශාල සිසු සිසුවියන් පිරිසකට මෙමගින් විශාල සහනයක් සැලසුනා. 2014 සහ 2015 අධ්‍යයන වර්ෂ දෙකට අදාළව බාහිර උපාධි පාඨමාලා සඳහා සිසුන් ලියාපදිංචි කිරිම සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් කැළණිය විශ්ව විද්‍යාලය වෙත විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.
එම නියෝගවල ඇතැයි ප්‍රකාශ කෙරෙන්නේ එක් අධ්‍යයන වර්ෂයක් සඳහා බඳවා ගන්නා අභ්‍යන්තර සිසුන් සංඛ්‍යාව මෙන් දෙගුණයක් පමණක් බාහිර උපාධි සඳහා ලියාපදිංචි කර ගත යුතු බවයි. 2014 වර්ෂය වෙනුවෙන් අයදුම්පත් 14000 ක් ඉදිරිපත්ව තිබුණද නව ප්‍රතිපාදන කොන්දේසි යටතේ කැලණිය විශ්ව විද්‍යාලයේ බාහිර උපාධි අංශයට බඳවා ගැනීමට අනුමැතිය ලැබී ඇත්තේ 2160 ක ශිෂ්‍ය සංඛ්‍යාවක් සඳහා පමණයි.
බාහිර උපාධි සඳහා බඳවා ගැනීම කප්පාදු කර ඇත්තේ උපාධිධාරින්ට රැකියා ලබාදීමේ වගකිම ආණ්ඩුවට ගැනීමට සිදුවේයැයි පවතින බිය නිසාද නැතහොත් උසස් පෙළ සමත් එහෙත් විශ්ව විද්‍යාලයට ඇතුළත්වීමට නොහමැකි වූ තරුණ තරුණියන් පෞද්ගලික අධ්‍යාපන ආයතන වෙත තල්ලූ කිරිමේ උවමනාව වෙනුවෙන්ද යන්න ඔවුන් තුළ පවතින්නේ බලවත් සැකයක්.
එම නිසා අමාත්‍යවරයා විසින් පහත ගැටලූවලට පිළිතුරු සභාව හමුවේ තබනු ඇතැයි අපේක්ෂා කරනවා.
විශ්ව විද්‍යාලවල බාහිර උපාධි පාඨමාලා සඳහා ඇතුළත් කරගැනීම සීමා කර ඇත්තේ කවර හේතු මතද, ඒ සඳහා පාදක කර ගෙන ඇති යෝජනා කවුරුන් විසින් සකස් කරන ලද්දේද, බාහිර උපාධියක් ලබා ගැනීමේ අයිතිය අහිමි කිරිම අසාධාරණයක් නොවන්නේද, කැලණිය විශ්ව විද්‍යාලයේ 2014 හා 2015 බාහිර උපාධි සඳහා බඳවා ගැනිම්වලට අදාළ නව කොන්දේසි හේතුවෙන් අයදුම්පත් ලබාගත් විශාල සංඛ්‍යාවකට ලියාපදිංචිවීමට නොහැකි වී ඇති බව දන්නේද, ඒ හේතුවෙන් අසාධාරණයට ලක් වූ සිසු සිසුවියන්ට සහනයක් සැලසිය නොහැක්කේ මන්ද, බාහිර උපාධිවලට අදාළ මතුවී ඇති ගැටලූකාරි තත්ත්වය සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග කවරේද

Sammy

Previous story Next story

Leave a comment

t

o

p