ග්‍රහ මාරුව ඔබට කොහොමද?

August 15, 2016

වසර බිලියන 15 කට පෙර විශ්වය “ බිහිවූ” බව දැන් විද්‍යාඥයෝ ප්‍රකාශ කරති. මේ “බිහිවීම” පිළිබඳ දැනට වැඩිපුරම පිළිගත් මතය වී ඇත්තේ මහා පිපුරුම් න්‍යායයි . (‍Big Bang Theory) ඊට අමතරව මහා පොලාපැනුම් න්‍යායක් ( Big Bounce Theory) පිළිබඳවද සාකච්ඡා කෙරේ. විශ්වයේ බිහිවීම පිළිබඳ අප ඉහතින් සදහන් කලද සැබවින්ම විශ්වයට ආරම්භයක් හෝ අවසානයක් නැත. බිහිවීම යනු එක්තරා සාපේක්ෂ සිදුවීමකි.
මේ අනන්ත අපරිමාන විශ්වය තුල පෘථිවිය ඇතුළු සෞරග්‍රහ මණ්ඩලය බිහිවී දැනට වසර බිලියන 4.5 කි. උණුසුම් දූවිලි වලාවන් සිසිල්වීමෙන් හා ඝණීභවනය වීමෙන් මෙම ග්‍රහලෝක නිර්මාණය වූ බව ක්වීපර් ගේ මතයයි. එය දැනට ලොව පිළිගත් විද්‍යාත්මක මතය වේ.
මේ පෘථිවිතලය මත ජීවය බිහිවන්නට පටන්ගෙන වසර බිලියන 3 ක් පමණ වේ.ඒක සෛලික ජීවියාගේ සිට බහුසෛලික ජීවියා දක්වා පරිනාමය වූ ගමනේ අදින් වසර මිලියන 6 කට පෙර මානව කල්ප වානර විශේෂයක් අපට හමුවේ. එතැන් සිට හෝමෝ සේපියන්ස් සේපියන්ස් වන නූතන මිනිසා බිහිවීම දක්වා දීර්ඝ කාලයක් ගතවිය. නූතන මිනිසා පෘථිවිය මත බිහි වන්නේ මීට වසර ලක්ෂ 2 කට පෙර සිටය.
විශ්වයේ බිහිවීමත්, ඒ තුල අපගේ පෘථීවිය බිහිවීමත් , ඒ මත මිනිසා බිහිවීමත් යන මේ කරුණු සැකෙවින් ඉදිරිපත් කලේ මේ දීර්ඝ කථාන්තරය තුල කිසිදු මැවීමක්, හාස්කමක් හෝ ප්‍රාතිහාර්යයක් සිදුනොවූ බවට පෙන්වනු පිණිසය. භෞතික පරිණාමය, රසායනික පරිණාමය, ජීව පරිණාමය යන විද්‍යාත්මක ක්‍රියාවලීන්ගේ ප්‍රතිපලයක් ලෙස දියුණු මොළයක් සහිත මිනිසෙක් අද වන විට මේ පොළොව තලය මත සිටී.
ග්‍රහලෝක ඇති වූ දා සිට ඒවා භ්‍රමණ – පරිභ්‍රමණ ක්‍රියාවලියක පවතී. ඒ ඒ ග්‍රහවස්තු අතර ආකර්ශනයක් මෙන්ම විකර්ශනයක් ද ඇත. එක් ග්‍රහවස්තුවක හැසිරීම අනෙක මත බලපායි. චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ශනය අපේ මුහුදුවල වඩදිය, බාදිය කෙරෙහි බලපාන්නක් මෙනි.
එහෙත් අප ඉඳුරාම බැහැර කල යුතු දේ නම් මේ ග්‍රහ වස්තුවලට මිනිස් ජීවිත කෙරෙහි කල හැකි බලපෑමයි. අප ගත කරමින් සිටින ජීවිතයේ ගුණ අගුණ, හැඩරුව තීරණය කරන්නේ අප ජීවත් වන සමාජ – ආර්ථික – සංස්කෘතික – දේශපාලන වටාපිටාව මිස ආලෝක වර්ෂ ගණනාවක් දුර සිටින ග්‍රහලෝක නොවේ.
අගෝස්තු 11 දින රාත්‍රී 9.21 ට “ගුරු මාරුවක් ” සිද්ධවන බවටත් එමගින් ජනජීවිතයට විශාල බලපෑම් සිදුවන බවටත් වන කතිකාවක් සමාජය තුල නිර්මාණය කරමින් තිබේ. මේ කතිකාව සදහා වැඩිම දායකත්වය දෙනු ලබන්නේ රූපවාහිනී, ගුවන්විදුලි නාලිකා සහ පුවත්පත්ය.ඡ්‍යෙතීර්වේදීන් කැඳවමින් විශේෂ ගුවන් කාල වෙන් කරමින් ග්‍රහමාරුව ඔබට බලපාන ආකාරය ඒවායේ විස්තර කෙරේ. මෙම ග්‍රහ මාරුවට පැය 3 කට කලින් ග්‍රහ මාරුවේ බලපෑමට වඩා විශාල බලපෑමක් සිදුවන වැට් බදු සංශෝධන පනත පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීමට  නියමිතය. සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝකය වන ගුරු හෙවත් බ්‍රහස්පතිට වඩා ලාංකීය ජනතාවගේ ජීවිත වලට බලපෑම් කිරීමේ බලයක් මුදල් අමාත්‍ය රවි කරුණානායක සතුය. එහෙත් වැට් විරෝධතාවය යට ගසන ග්‍රහමාරුව ඉහලට ආවේ ය.
මේ පෙන්නුම් කරන්නේ අප ගිලී සිටින මිත්‍යාවේ , අවිද්‍යාවේ , අන්ධකාරයේ තරමය. විද්‍යාවේ හා තාක්ෂණයේ සංවර්ධනය විසින් නිපදවන ලද රූපවාහිනී, ගුවන් විදුලිය, ගුවන් විදුලි තරංග, ස්ම්ප්‍රේශණ කුළුණු ආදී සියල්ල වැය කර අපි ගුරු මාරුව ගැන කථා කරමින් සිටිමු. වර්ණ සංකලනයේ, පිටු සකස් කිරීමේ ඉහලම තාක්ෂණය භාවිතා කරමින් පත්තර පිට ගණන් පුරා අපි මේ ගැන ලියමින් සිටිමු. සෞරග්‍රහ මණ්ඩලයේ ගුරු මාරුව ගැන දක්වන මාධ්‍ය අවධානය අධ්‍යාපනයේ නිසි ගුරු මාරු ප්‍රතිපත්තියක් හැදීමට හා ක්‍රියාවට නැගීමට බලකලා නම් අපට සුන්දර හා දැනුවත් දරු පරපුරක් බිහිකරගත හැකිවනු ඇත.
අපට ඇත්තේ ඉහල සිට පහලට මිත්‍යාව වපුරන සමාජයකි. මෙවර අ.පො.ස.(උ.පෙල) විභාගය සදුදා නොව අගහරුවාදා ආරම්භ කලේද රාහු කාලය මගහැරීමට බව සමහර මාධ්‍ය දක්වා තිබුනි. රටට අවශ්‍ය විද්‍යාත්මක චින්තනයක් සහිත වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ගණකාධිකාරිවරුන්, අධ්‍යාපනඥයින්, විද්‍යාඥයින්, ගුරුවරුන් පුහුණු කරන විශ්ව විද්‍යාල සදහා දරුවන් තෝරාගන්නා විභාගයටත් රාහු කාලය බලපා තිබේ.
පසුගිය වසර 10 පුරා අප දුටුවේ ගිය ගිය තැන වශී බෝලයක් මිරික මිරිකා සිටින රාජ්‍ය නායකයෙක් හා ඔහුගේ පුත්‍රයෙකි. දැන් අප දකින්නේ දරුවන්ට ශිෂ්‍යත්වය සමත් වීමට ඝණ දෙවි පූජා සංවිධානය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුය. ඡන්දයට කලින් තිරුපති කෝවිලට දුවන අගමැතිවරුය.
රටට මගකීමට සිටින දේශපාලන නායකත්වය මිත්‍යාවෙන් මිදෙන්නේ නැතිව රටක් ඉදිරියට යා නොහැක.
අපට අවශ්‍ය විද්‍යාත්මකව හා තර්කානුකූලව සිතන , සිතා ඒ මත සැලසුම් කරන, ඒ සැලසුම් ක්‍රියාවේ යොදන දේශපාලන නායකත්වයකි.

A

A

.වෛද්‍ය නලීන්ද ජයතිස්ස

Sammy

Previous story Next story

Leave a comment

t

o

p