ප්‍රංශ ජනපති බාබර්ගේ පඩිය ලක්ෂ 16

July 31, 2016

ප්‍රංශයේ ”කැනා ඔන්චෙනේ ” නම් ටැබ්ලොයිඞ් පුවත් පතට හිමි වන්නේ විශේෂ ස්ථානයකි. රාජ්‍යයේ හා දේශපාලඥයන්ගේ වැරදි හා දුෂණ හෙළි කිරීමට විශේෂ උනන්දුවක් දක්වන මෙම ආන්දෝලාත්මක පුවත්පත ප‍්‍රංශයේ 70 හා 80 දශකයට අයත් පරම්පරාව අතර දැඩි ලෙස ජනප‍්‍රිය වි  ඇත.

ඔවුන්ගේ හෙළිකිරීම් හේතු කොට තම ධූරයෙන් අස්වීමට සිදුවූ ඇමැතිවරුන්, නගරාධිපතිවරුන් බොහෝමයකි. එබැවින් දේශපාලඥයෝ බදාදා පළ කැරෙන  මෙම පුවත් පතට බියක් දක්වති. අශිල් ෂෙමෝරි හා ස්ටෙෆන් මාර්තෙඌ යන ප‍්‍රංශ මාධ්‍යවේදීන් දෙදෙනා විසින් ප‍්‍රංශ ජනාධිපති මැදුර නමින් රචිත ග‍්‍රන්ථයක අඩංගු කොටසක් උපුටා දක්වන මෙම පුවත් පතේ පසුගිය කලාපය ප‍්‍රංශ ජනාධිපතිගේ කරණවෑමියා නොහොත් බාබර් යුදෙව් සම්භවයක් ඇති ප‍්‍රංශ ජාතික ඔලිවියේර් බෙන්හමූගේ මාසික වැටුප ගැන අපූරු හෙළි කිරීමක් කර තිබුණේය.

ඔවුන්ගේ හෙළි කිරීමට අනුව ජනාධිපති කරණවෑමියාගේ මාසික වැටුප යුරෝ 9895 කි. එනම් රුපියල් 16 ලක්ෂ තිස් දෙදෙහකි. මෙම වැටුප් විස්තර පළවීමෙන් පසු ජනාධිපති බාබර්ගේ වැටුප ගැන විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන් තුළ විවිධ විවේචන සිදු වූයේය. එහි සත්‍ය තත්ත්වය දැන ගැනීමට පුවත්පත  ජනාධිපති කාර්යාලය සම්බන්ධ කර ගැනීමට වෙහෙසුනද එය සපල නොවු බව පුවත් පත විසින් සඳහන් කර තිබුණේය.

එසේම මීට පෙර සාර්කෝසි ජනාධිපතිගේ කරණවෑමියා යුරෝ 8000ක වැටුපක් ලබා ගත් බවද හෙළි වුයේය. ජනාධිපති කාර්යාලයයේ හා ජනාධිපතිගේ වැය ශීර්ෂයන් අඩු කරන බව කිව් ජනාධිපති මෙතරම් මුදලක් බාබර්ට ගෙවීම සුදුසුද යනුවෙන් ප‍්‍රශ්න කරමින් විවිධ විවේචන දේශපාලන හා මාධ්‍ය ක්‍ෂේත‍්‍රය තුළ විශේෂ කථා බහට ලක් වූයේය.

කෙසේ නමුදු මාධ්‍ය තුළ  විවේචන හේතුවෙන් ජනාධිපති කාර්යාලයට ඉහත ප‍්‍රශ්නය අරභයා පිලිතුරු සැපයීටමට සිදුවුයේය. ඒ අනුව ජනාධිපතිගේ කරණවෑමියා වූ ඔලිවියේගේ රැකියා කොන්ත‍්‍රාත්තුව අවුරුදු පහකට පමණක් සීමාවූ බවත්, ඔහු හිමිදිරි පාන්දර සේවයට වාර්තා කරමින් සෑම දිනකම ජනාධිපති තුමාගේ කොණ්ඩය හැඩ වැඩ කරන බවත් දින හතේ පැය 24 පුරාවටම සේවයට වාර්තා කිරීමට බැඳී ඇති හෙයින් ජනාධිපතිගේ සෑම සංචාරකටම ඔහු සහභාගි වෙන බවත් එම නිසාම ඔහුට අයත් පැරිස් කලාප අංක 07 හි පිහිටි බාබර් සාප්පුව වසා දමා ඇති බවද එලෙසෙම ඔහුගේ දරුවන් දෙදෙනෙකු උපදින විට බිරිඳ ළඟ සිටීමට නොහැකිවූ බවත් ජනාධිපති කාර්යාල මාධ්‍ය ප‍්‍රකාශනයේ සඳහන් වූයේය.

පැය 24 පුරාම සේවයට කැපවී සිටින  ජනාධිපතිට විශ්වාසවන්තයකු බවත් පවුල් ජීවිතය පවා දෙවැනි තැන තබමින් සේවයේ යෙදෙන ඔහුට එම වැටුප ගෙවීම වැරැද්දක් හෝ ජනාධිපති බලතල අවභාවිතයේ යෙදීමක් නොවන බව ප‍්‍රංශ සමාජවාදි ආණ්ඩුවේ මාධ්‍ය ප‍්‍රකාශක කෘෂිකර්ම ඇමැති ස්ටෙපන් පෝල් මහතා විසින් මාධ්‍ය හමුවකදී පැවසීය.

හිටපු ජනාධිපති නිකොලා සාර්කෝසි මාධ්‍යවේදීන් මේ ගැන ප‍්‍රශ්න කළ විට පිළිතුරු නොදී සිනාසෙමින් පිටව ගියේය. මේ දිනවල ප‍්‍රංශයේ සිදුවන ත‍්‍රස්තවාදි ප‍්‍රහාර හේතුවෙන් කරණවෑමි විෂය මදකට මතකයෙන් ගිළිහී ගොස් ඇත්තේය.

01-(2) le-coiffeur-de-francois-hollande-paye-9-895-euros-brut-par-mois

Sammy

Previous story Next story

Leave a comment

t

o

p