මැතිරූ පෑන්, පැන්සල් නිසා විභාග සමත් වෙනවාද?

July 25, 2016

ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ යන විභාග ළමයින්ගේ මෙන්ම මවුපියන්ගේද සිත්වල අනියත බියක් හා උනන්දුවක් ඇති කරන කඩඉම්ය. වැදගත්, උසස් යැයි සම්මත පාසලක් ලබා ගැනීමට යහමින් මුදල් අතේ මිටේ නැති අයටත්, ගම්බද දරුවන්ටත් ඇති එකම අවස්ථාව ශිෂ්‍යත්වයයි. උසස් පෙළ කරන්න නම් සාමාන්‍ය පෙළ සමත් විය යුතුමය.
නැත්නම් අනාගතය අවිනිශ්චිත යැයි යන මතයක් සමාජයේ ගොඩනැඟී ඇත්තේ පවත්නා අධ්‍යාපන ක්‍රමයේ බරපතළ වරදක් නිසා විය යුතුය. ඉස්සර කාලයේ නම් බි්‍රතාන්‍යයේ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ, ලංකාවේ විභාග සමඟ සම මට්ටමක පැවැතිණි. එහෙත් ඉන්දියාවේ උපාධිය අපේ උසස් පෙළට සමාන මට්ටමක පවතින බවට බටහිර රටවල සැලකිණි. ඉස්සර කාලයේ පාසල් හොයන්නට මවුපියන් උපවාස කළේ නැත. අත යටින් මුදල් හුවමාරු කළේද නැත. පාසල් නොයන ළමයින් සොයා ගෙන් ගෙට ගිය ආරච්චි මහත්තයා හෝ රජයේ නිලධාරීහු මවුපියන්ට හෝ භාරකරුවන්ට නඩු පැවරූහ. අද එහි අනෙක් පැත්තය.
යහපත් බුද්ධියක් හා උසස් ඉගෙනීමට වාසනාව ලබා දෙන ග්‍රහ පිහිටීම් හඳහනේ පෙන්වයි. හංස යෝගය හා භද්‍රා යෝගය යහපත් බුද්ධියක් මෙන්ම ඉගෙනීමේ දක්ෂතා විවිධ විෂයයන් ඉගෙනීමේ උනන්දුවත් ඇති කරයි. ඔවුන්ට සහජයෙන්ම ඉහළ මට්ටමේ බුද්ධියක් පිහිටයි. එක එක රසායනික වර්ග හා හෝමෝන වර්ග සහිත කිරි බොන්නට අවශ්‍ය නොවේ. වසර කිහිපයකින් පසුව එවැනි රසායනිකයන්ගේ විස ලක්ෂණ පහළ වන්නට පටන් ගත්තාම අම්මලාට මොළේ කොළොප්පම් වනු ඇත.
හංස යෝගය යෙදෙන්නේ බ්‍රහස්පති ස්වක්‍ෂේත්‍රව හෝ උච්ච බලයෙන් 1, 4, 7 හෝ 10 යන ස්ථානයක පිහිටීමෙනි. 5 සහ 9 යන ත්‍රිකෝණ ස්ථානවල ඒ ආකාරයෙන් පිහිටීමද මෙම යෝගය ඇති කරන්නක් බවට සමහර ගුරුකුලයන්ගේ මතයයි. ගුරු ස්වක්‍ෂේත්‍ර වන්නේ ධනු හා මීන රාශිවලදී වන අතර කටකයේ උච්ච වෙයි. කන්‍යා රාශිය බුධ උච්ච වන මෙන්ම ස්වක්‍ෂේත්‍ර වන රාශිය වන අතර, මිථුනයේ ස්වක්‍ෂේත්‍ර වෙයි. ඒ අනුව හංස යෝගය යෙදෙන්නේ මේෂ ලග්න හිමියන්ගේ හඳහනේ 4 වැන්නේත්, මිථුන ලග්න හිමියන්ගේ 7 වැන්නේ හෝ 10 වැන්නේත්, කටක ලග්න හිමියන්ගේ ලග්නයේත්, කන්‍යා ලග්න හිමියන්ගේ 4 වැන්නේ හෝ 7 වැන්නේත්, තුලා ලග්න හිමියන්ගේ 10 වැන්නේත්, ධනු ලග්න හිමියන්ගේ ලග්නයේම හෝ 4 වැන්නේත්, මකර ලග්න හිමියන්ගේ 7 වැන්නේත්, මීන රාශි හිමියන්ගේ ලග්නයේම හෝ 7 වැන්නේත් ගුරු පිහිටා ඇත්නම් පමණකි.
මිථුන ලග්න හිමියන්ගේ 4 වැන්නේත්, කන්‍යා ලග්න හිමියන්ගේ ලග්නයේ හෝ 10 වැන්නේත්, ධනු ලග්න හිමියන්ගේ 7 වැන්නේ හෝ 10 වැන්නේත්, මීන රාශි හිමියන්ගේ 4 වැන්නේ හෝ 7 වැන්නේත්, බුධ පිහිටීමෙන් භද්‍රා යෝගය යෙදේ. මේ අනුව බලන විට හංස හා භද්‍රා යෝග දෙකම එකවිට යෙදෙන්නේ මිථුන, කන්‍යා, ධනු හා මීන යන ලග්න හතරෙන් උපන් අයට පමණකි.
4 වැන්න අධිපතියා හෝ බ්‍රහස්පති 3, 6, 11 යන ස්ථාන අධිපතීන් සමඟ එක්ව නොසිටීමද මනා ඉගෙනීමක් පෙන්වන බව ඉගැන්වෙයි. රවි ග්‍රහයා පිළිබඳ සැලකීමේදී උපතේදී 5, 9 හෝ 10 යන ස්ථානයක පිහිටියේ නම් ඉගෙනීමට යහපත්ය. චන්ද්‍රයා 3 වැන්නේ හෝ 5 වැන්නේ පිහිටා ඇත්නම්ද, ඉගෙනීමට යහපත්ය. ලග්නය 5, 9, 10 යන ස්ථානයක බුධ පිහිටීමද, ඉගෙනීමේ දක්ෂතාව ඇති කරන්නකි. බ්‍රහස්පතිගේ පිහිටීම් සලකා බැලීමේදී ඉගෙනීම සඳහා දක්ෂතාව ඇති කරන්නේ 1, 3, 5 සහ 9 යන ස්ථානවල පිහිටීමය. සිකුරු 9 වැන්නේ හා 11 වැන්නේ පිහිටීම ඉගෙනීමට යහපත් වුවත් 5 වැන්නේ සිකුරු පිහිටා ඇත්නම් අධ්‍යාපනය ලබන කාලයේදී එම ග්‍රහයාගේ මහ දශාව ලබා ඇත්නම් ඉගෙනීමට බාධා පැමිණ විය හැක්කේ විරුද්ධ ලිංගිකයන් සමඟ සබඳතා ඇති කිරීමේ ඉඩ වැඩි හෙයිනි.
කේතු 5 වැන්නේ පිහිටීමත්, 9 වැන්නේ පිහිටීමත් ඉගෙනීමට යහපත් වුවත්, ශනි, රාහු හා කුජ 5 වැන්නේ සිටීම අධ්‍යාපනයට බාධා කිරීමට ඉඩ ඇති බව පෙන්වයි. එහෙත් මෙම බාධා කිරීම් දැක ගත හැකි වන්නේ අයහපත් දශා හෝ ඒරාෂ්ටක අපල තත්ත්වයන් පවතින්නේ නම් පමණකි. එසේ නොමැතිව එම ග්‍රහයන් 5 වැන්නේ සිටි පමණින් අධ්‍යාපනය කඩාකප්පල් වන්නේ යැයි පැවැසීම වැරැදිය. රවි ග්‍රහයා මිථුන රාශියේ පිහිටීම හා බුධ, කේතු යහපත් ආකාරයෙන් සංයෝග වීම වැනි ඥාන යෝග වශයෙන් නම් කරන ලද යෝගද ජේ‍යාතිෂයේ පෙන්වා තිබෙන බව පමණක් සඳහන් කරමි. ඔවුන්ද බුද්ධිමත් හෙයින් උසස් ඉගෙනීමට යා හැකියි.
මෙහි සඳහන් කර ඇති ග්‍රහ පිහිටීම් පිළිබඳවද පැවැසිය යුත්තේ යම් ග්‍රහයකු පිහිටි පමණින් යහපත් පල හෝ අයහපත් පල නොදෙන අතර එම ග්‍රහයා අවම වශයෙන් ෂඩ් වර්ගයෙන් දෙර්කාණය, නවාංශකය, ද්වාදශාංකය හා ත්‍රිංශාංශකය යන හඳහන්වල පිහිටා ඇත්තේ කුමන ආකාරයෙන් දැයි විමසිය යුතුය. උදාහරණයක් වශයෙන් ලග්න කුණ්ඩලියේ උච්ච බලයෙන් පිහිටි ග්‍රහයා නවාංශකයේ නීච නම් බලය අඩුය.
තම දරුවාගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් උනන්දු වන මවුපියන් විභාගයක් ආසන්නයේදී කලබලයට පත්ව හඳහන් රැගෙන ජේ‍යාතිෂවේදියකු වෙත යන්නේ තත්ත්වය දැනගන්නටය. එසේ නැතහොත් අධ්‍යාපනයට ඇති උනන්දුව හීන වීම, මුරණ්ඩු වීම, ලකුණු අඩු වීම, අධික නිදිමතක් පෙන්වීම හෝ අලස බව ඇතිවීම යනාදී තත්ත්වයක් දුටු පසුවය. විභාගය අත ළඟ තිබියදී අපලයකට ශාන්ති විධි කිරීමෙන් තත්ත්වය ගොඩදා ගත හැක්කේ අපහසුවෙනි. මගේ කලින් ලිපියක සඳහන් වූ ආකාරයට මෙම ග්‍රහ අපල මඟින් ඇති කරන සිරුරේ පවතින විද්‍යුත් හා චුම්බක තරංගයන්ගේ වෙනස්කම් එක් දවසකින් හෝ මාසයකින් සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම අමාරුය. ඒ සඳහා මාස තුනක හතරක හෝ අපල තත්ත්වය පැවැති කාලය අනුව ඊටත් වැඩි කාලයක් අවශ්‍ය විය හැකිය. උදේ පාන්දර අවදි කරවාගෙන නිදිමතේම දරුවා පාසලටත්, පෞද්ගලික පන්තියටත් ගෙන යෑමට දක්වන උනන්දුව අපල තත්ත්ව දැනගැනීමට හා ඒවා සමනය කෙරෙහිද දැක්වීම වැදගත්ය.
පෑන හෝ පැන්සල කෘත්‍රිම ද්‍රව්‍යයන්ගෙන් නිමවා ඇත. පෑන ප්ලාස්ටික්වලින් නිම වී ඇති අතර පැන්සලේ කූර නොදිරන ගන ද්‍රව්‍යයක් වූ මිනිරන්වලින් සාදා තිබේ. මේවාට මන්ත්‍ර හෝ පිරිත්වල බලය රඳවා ගැනීමේ ශක්තියක් නැත. මේ තත්ත්වය නූලකට නිවැරැදිව බලපාන්නේ දිරා යන ද්‍රව්‍යයක් වීමත් එහි අංශු චලනය වීමත් නිසාය. තඹ කොළයද දිරා යන්නකි. එහි පන්හිඳෙන් යන්ත්‍රය ඇඳීමේදී කඩතොලු වන හෙයින් මැතිරීමේදී හෝ පිරිත් කිරීමේදී ඇතිවන වාතයේ චලනය අභ්‍යන්තරයට උරා ගනියි. එහෙත් තඹ යන්ත්‍රය අච්චුවකින් සකස් කළ එකක් නම් එහි කඩතොලු වීමක් නැති අතර තැළීමක් පමණක් සිදුවන හෙයින් බලය පිහිටුවිය නොහැකිය. තෙල් පිරිත් කිරීමේදී හෝ මැතිරීමේදී තරංග ඇතිවන ආකාරය පැහැදිලිවම පෙනේ.
ඔබේ දරුවාත් පාසල් යන වයසේ සිටී නම් අධ්‍යාපනයේ දුර්වලතා හෝ පසුබැසීමක් දුටු විට ව්‍යාපාරික අරමුණක් නැති ජේ‍යාතිෂවේදියකු කරා ගොස් ඊට හේතුව දැනගැනීම වැදගත්ය. ඇඳ සිටින ඇඳුම හෝ ගමන් කරන වාහනයද සැලකිල්ලට ගත යුත්තක් නොවේ. කියන දෙයට බුද්ධිමත්ව කන් දී තීරණය කරන්න.
වියදම් අධික ක්‍රමවේදයන් නොව අවම වියදමකින් උපරිම ප්‍රතිඵල ලැබිය හැකි ශාන්ත විධි තෝරා ගන්න. නිවැරැදිව තබන බෝධි පූජා, ග්‍රහයා අනුව නියමිත පිරිත් සජ්ජායනය, ශාන්ති ස්නාන, අපල දුරු කරන ග්‍රහ නමස්කාර වියදම් අඩුම ඉතා සාර්ථක ප්‍රතිඵල දෙන ක්‍රමයන් බව අත්දැක තිබේ. මිථ්‍යාව මඟින් මුදල් ගරන ක්‍රම නොව ‘ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී’ යන බුදු වදන සිහිපත් කිරීම මෙයට විසඳුමයි.

ජේ‍යාතිෂවේදී
චන්ද්‍රසිරි සී. කළුබෝවිල

Sammy

Previous story Next story

Leave a comment

t

o

p