කොළඹ වරාය ගුවනින් නිරීක්ෂණය කරයි

December 24, 2015

ඵලදායි ලෙස භූමිය කළමනාකරණය කිරීමේ අරමුණින් කොළඹ වරාය ගුවනින් නිරීක්ෂණය කරයි. වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග සහ මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ ප්‍රධානත්වයෙන් එය සිදු විය.

එම අවස්ථාවට නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් චන්ද්‍රා ඒකනායක මහත්මිය, රේගු අධ්‍යක්ෂ ජනරාල් චූලානන්ද පෙරේරා මහතා, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්. සෝමසිංහ මහතා, වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂ සරත් කුමාර ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු රජයේ නිලධාරීන් රැසක් සහභාගී වූහ.

ආනයනික භාණ්ඩ පරීක්ෂා කිරීම සඳහා කොළඹ වරායේ සවි කිරීමට අපේක්ෂිත නව තාක්ෂණයෙන් යුතු ස්කෑන් යන්ත්‍රය ස්ථාපනය කිරීම සඳහා සුදුසු ස්ථානයක් තෝරාගැනීමද මෙම නිරීක්ෂණ චාරිකාවේ අරමුණක් විය. 2016 වසරේ මාර්තු 31 වනවිට එම ස්කෑන් යන්ත්‍රය කොළඹ වරාය පරිශ්‍රයේ සුදුසු ස්ථානයක ස්ථාපනය කළ යුතු වේ. ලබන වසරේ අප්‍රේල් මස 01 වැනි දින සිට සියලු බහලුම් මෙම ස්කෑන් පරික්ෂාවට ලක් කිරීමටද නියමිතය. මෙරටට ගෙනෙන සියලුම භාණ්ඩ පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය මෙමගින් පහසු කෙරෙනු ඇත. මෙම පරීක්ෂාවෙන් රටට ගෙනෙන නීති විරෝධී භාණ්ඩ හඳුනා ගැනීම පහසු වනු ඇතැයිද අපේක්ෂා කෙරේ.

– තමීර මංජු

Sammy

Previous story Next story

Leave a comment

t

o

p