කන්ටාර්ගේ ඝාතනයට ප‍්‍රතිචාර දක්වනවා – හිස්බුල්ලා කියයි

December 24, 2015

හිස්බුල්ලා සංවිධානයේ ඉහළ පෙළේ සාමාජිකයෙකු වන සමීර් කන්ටාර්ගේ ඝාතනයට හිස්බුල්ලා සංවිධානය නිසි ප‍්‍රතිචාර දක්වන බව එම සංවිධානයේ මහලේකම් සයිඞ් හසාන් නස්රල්ලා පවසා ඇත.

ඔහු මේ බව පවසා ඇත්තේ ලෙබනනයේ බෙයිරුට් නගරයේදී කන්ටාර්ගේ අවසන් කටයුතු පැවැත්වීමෙන් අනතුරුව ප‍්‍රකාශයක් සිදුකරමිනි.

තම සාමාජිකයාගේ ඝාතනයට අදාළ ප‍්‍රතිචාරය නිසි අවස්ථාවේදී දැක්වීමට හිස්බුල්ලා සංවිධානයට සම්පූර්ණ අයිතිය ඇති බවත් තම සංවිධානය එම අයිතිය අනිවාර්යයෙන්ම ක‍්‍රියාවේ යොදවන බවත් නස්රල්ලා පවසා තිබේ.

ඔහු පවසා ඇත්තේ මෙය සිදුකළේ ඊශ‍්‍රායලය බවට කිසිදු සැකයක් නොමැති බවයි. සමීර් කන්ටාර් සිරියාවේ දමස්කස් ආසන්නයේ ජරාමානාහි පිහිටා තිබූ සිය නිවසේ සිටියදී ඊශ‍්‍රායල ප‍්‍රහාරක යානා විසින් මිසයිල ප‍්‍රහාරයක් එල්ල කර ඇත.

දසදහස් ගණනක් ජනතාව කන්ටාර්ගේ අවමංගල්‍යය උත්සවය සඳහා සහභාගී වී ඇති අතර ඔහු ඝාතනය කිරීමෙන් එක් ගිණුමක් අවසන් වන බවට ඊශ‍්‍රායලය සිතුවත් සැබැවින්ම සිදුවන්නේ ගිණුම් ගණනාවක් ආරම්භ කිරීම බව හිස්බුල්ලා ජ්‍යෙෂ්ඨයකු වන හෂෙම් සෆියද්දීන් පවසා ඇතැයි වාර්තා වේ.

වසර 29ක් ඊශ‍්‍රායල අත්අඩංගුවේ පසුවූ කන්ටාර් 2008දී සිදුවූ ඊශ‍්‍රායලය හිස්බුල්ලා සිරකරු හුවමාරුවකදී නිදහස් කෙරිණි.

මේ අතර අත්අඩංගුවට ගෙන ඇති නයිජීරියාවේ ෂියා නායක ඉබ‍්‍රාහිම් අල් සකාසි වහා නිදහස් කරන ලෙසද හිස්බුල්ලා සංවිධානය විසින් පවසා ඇතැයි වාර්තා වේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p