සොරගුණේ වනාන්තරය තුළ අප කළ නිරීක්ෂණ චාරිකාවකින් අනාවරණය වූයේ බෙරගල ගෝල්ෆ් රිසෝට් ව්‍යාපෘතිය ඉතා සූක්ෂම අයුරින් සිය අරමුණු සාක්ෂාත් කරගනිමින් සිටින බවයි.
ඔවුන්ගේ හොර ජාවාරම් වසා ගැනිමට ස්ථිර ගොඩනැගිලි ඉදිකර විශාල දේවාල භූමියක් ද ඉදිකර ඇත. අටවිසි බුද්ධ ප්‍රතිමා නිර්මාණය කිරිමට අවශ්‍ය බිම් සැකසීම ද සිදුකර ඇත. දෙවියන් බුදුන් පෙන්වා තම ජාවාරම් වසාගන්නටත් නීත්‍යාණුකූළ පදනමක් ගොඩනගා ගන්නටත් ජාවාරම් කරුවන් උත්සහා ගනිමින් සිටී.
කුඩා කතරගම දේවාලයේ සිට වේලි ඔය දක්වා වූ මාර්ගය ඉදිකිරීම මෙම ජාවාරම්කරුවන්ගේ ප්‍රාර්ථනයක් බව තහවුරු වූයේ ඔවුන් සමග කළ සාකච්ඡාවෙනි. මොවුන් හුදකලා ජාවාරම්කරුවෝ නොවෙති. බෙරගල ගෝල්ෆ් රිසෝට් ව්‍යාපෘතිය ඇතුළු ජාලගත ක්‍රියාදාමයක් බව සමීපව නිරික්ෂණය කිරීමේදී සාක්ෂි සහිතව සනාථ වන්නකි.
ලක්මවට මෙවැනි වනාන්තර පද්ධති එක්කරන අගය වත්කම විග්‍රහ කිරීම ස්වජාතික හැගීම් සහිත දේශමාමකයකුට අපහසු වුව ද විජාතික චින්තනයෙන් අකුමුල් බැසගත් නරුමවාදීන්ට මෙවැනි ජෛව පද්ධති කපා ඉවත් කිරිමටත් ඒ මත කොන්ක්‍රීට් මාලිගා නිර්මාණය කිරිමටත් තම නොතිත් මූල්‍ය අරමුණු වෙනුවෙන් වනාන්තරය හරහා මාර්ග ඉදිකරමින් තම බූදලයක් සේ පරිහරණය කිරිම අපහසු නොවේ.
මෙය වඩාත් තහවුරු වන්නේ සොරගුණේ වනාන්තරය විනාශ කරමින් කාමර දෙදහසක හොටෙල් සංකීර්ණයක් හා ගෝල්ෆ් පිටියක් ඉදිකෙරෙන බෙරගල ගෝල්ෆ් රිසෝට් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමයි.
සොරගුණේ වනාන්තරය වේලි ඔය ව්‍යාපෘතිය පෝෂණය කරන කාල්කන් ඔය, දෙමට ආර, වේලි ඔය, පතහ ඔය යන ප‍්‍රධාන ජල මාර්ග වල පෝෂක ප්‍රදේශයයි. දහස් ගණන් ගොවි ජනයාගේ ජීවනෝපාය වේලි ඔය අමුණ ව්‍යාපාරය හරහා බැඳී පවතී. පානීය ජල අවශ්‍යතාවය ආදී එදිනෙදා ජීවිතයේ සියලු අවශ්‍යතා සපුරා ගනුයේ වේලි ඔය ව්‍යාපාරය තුලිනි. රජය විසින් රුපියල් මිලියන අටසිය පනහක් පමණ වැයකොට ගොඩනැගූ වේලි ඔය ව්‍යාපාරය අනාගතයේදී අසාර්ථක ව්‍යාපාරක් බවට පත්වන්නේ මෙවන් පරිසර විනාශකාරී ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම තුලිනි.
බිමේ දහස් ගණන් ගොවි ජනයා අමතක කරමින් පරිසර පද්ධති අනතුරේ හෙළා මෙවන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම කිනම් සංවර්ධනයක් ද?
නොදියුණු යැයි සැළකිය හැකි ජීවන රටාවක් දියුණු යැයි සැළකිය හැකි තත්ත්වයකට පත්කිරිම සංවර්ධනය ලෙස සරළව අර්ථ දැක්විය හැකිය. බෙරගල ගෝල්ෆ් රිසෝට් ව්‍යාපෘතිය රජයේ අනුදැනුම ඇතිව හුදු සංචාරකයන් ගැන පමණක් සිතා ක්‍රියාත්මක කිරීම ගොවිජනතාව විෂයෙහි ගොඩනංවන්නෙ කිනම් සංවර්ධනයක් ද?
වේලි ඔය ගොවිජනතාවගේ පැවැත්ම සදහා වූ අවශ්‍යතා සපුරා ගැනීම කෙරෙහි ඇති බාධා ඉවත් කිරීම වෙනුවට ඔවුන් සතු ජල අයිතිය ද අහිමි වනු ඇත. වේලි ඔය ව්‍යාපාරය පෝෂණය කරන සොරගුණේ වනාන්තරයෙන් අක්කර 628 ක් කැළෑ ඉඩම් එළි පෙහෙලි කර ගෝල්ෆ් ව්‍යාපෘතියට පවරා දී ඇත. දිය උල්පත් යටකරමින් දැනට මාර්ග දෙකක් ඉදිකරමින් ව්‍යාපෘතියට අදාළ යටිතල පහසුකම් ගොඩනැගීමට කටයුතු කරයි. මිනිසුන්ගේ පාරම්පරික ස්වභාවික උරුමයන් මත සංචාරකයන්ට බාල් නටන්නට අවශ්‍ය වටපිටාව නිර්මාණය කරන්නේ කොටවෙහෙර මණ්කඩ, කණ්ඩිය පිටිය, අලුත්වැව, හම්බෙගමුව යන ග්‍රාම සේවා වසම් වලට අයත් ගම්මාන 35ක පමණ ජනතාව කබලෙන් ලිපට ඇද දමිනි.
සොරගුණේ වනාන්තරය අලින්ගේ සොදුරු නවාතැන් පළකි. උඩවලව බෝගහපිටිය සාම්ප්‍රදායික අලිමංකඩ වැටී ඇත්තේ ද මෙම වනාන්තරය තුළිනි. ජෛව විද්‍යාත්මකව ඉහල වටිනාකමක් ඇති සොරගුණේ වනාන්තරය හෝටල් ඉදිකිරීම, ගෝල්ෆ් පිටි නිර්මාණය කිරිම හා මාර්ග ඉදිකිරිමට කටයුතු කිරිම අලි මිනිස් ගැටුම සදහා පාර කැපීමක් බව ඉතා පැහැදිලි ය. ගම්මාන 35ක ජනයාගේ ජීවිත අවධානම නොතකා පරිසරය අපචාරයට ලක්කරමින් සිදුකරන මෙම ව්‍යාපෘතිය සංවර්ධනය යැයි අර්ථ විග්‍රහ කළ හැක්කේ බඩගෝස්තර වාදි න්‍යාය මත පිහිටා පමණකි.
සොරගුණේ වනාන්තරය වනරක්ෂන දෙපාර්තමේන්තුවට සොරගුණේ දේවාලය සතු රාජකාරි ඉඩම් ලෙස දැනට පවතී. පර්චසයක් රුපියල් 55.00 ක් වැනි ඉතා සුළු මුදලකට පරම්පරා උරුමයෙන් සොරගුණේ කුඩා කතරගම දේවාලයට හිමි ඉඩම් බෙරගල ගෝල්ෆ් රිසෝට් නැමති හොටෙල් ව්‍යාපාතිය හා ගෝල්ෆ් පිටිය ඉදිකිරිම සදහා ඇල්ෆා ඇන්ඩ් ඔමේගා ප්‍රයිවට් ලිමිටඩ්, අංක 65, ධර්මපාල මාවත, කොළඹ 07 යන ආයතනය වෙත පවරා ඇත.
1931 අංක 19 දරණ විහාර දේවාලගම් ආඥා පනත උල්ලංඝණය කොට දේවාලයට නිල පංගුව ගෙවන භක්තිවන්ත වැසියන් අසරණ කරමින් ඇමරිකානු පුරවැසියකු වූ වාසුරාසයියා සරණ යමින් සොරගුණේ කුඩා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ජනක රවීන්ද්‍ර කළුපහන කටයුතු කර ඇත.
ශ්‍රී ලාංකීය සමාජය තුළ ඉතා වටිනා වනාන්තර පද්ධති ජාවාරම් කරුවන්ගෙන් හා දැව හොරුන්ගෙන් බේරා ගැනීමට ආරණ්‍ය සේනාසන මෙන්ම දේවාල පූජා භූමි වල වැඩ සිටී පූජ්‍ය හා පූජක උතුමන්ගේ මැදිහත් වීම ඉතා ප්‍රශංසනීය එකකි. වර්තමාන සමාජය තුල මෙය ඉතා ඛේදනීය තත්ත්වකට පත්ව ඇත. මෙය වඩාත් තහවුරු වන්නේ සොරගුණේ වනාන්තරය වර්තමානය තුල මුහුණ දෙන විනාශකාරි බව අධ්‍යයනය කිරීමෙනි. ශ්‍රද්ධාවන්ත, භක්තිවන්ත අසරණ මිනිසුන්ට පිහිටවන ස්ථාන ලෙස පෙනී සිටිමින් විජාතික කළු සල්ලි හමුවේ තෙරුවණ් සේම දෙවියන් ද පාවා දී පරිසර සන්හාරයන්ට සහයෝගය ලබා දී ඇත.
සියලු බලවතුන්ගේ ග්‍රහනයන් හමුවේ ග්‍රාමීය අසරණ මිනිසුන්ගේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය හා තුන්වන පරපුරේ පාරිසරික අයිතිය උදුරා ගනිමින් මේ සිදුවන්නේ සංවර්ධනය බව ව්‍යාපෘති ආයෝජකයින්ගේ වහසි බස් දෙඩීමයි.
ජනතා බලවේග හිස ඔසවන සෑම විටම එය යටපත් කිරීමේ අරමුණින් ජනතාවට කොකා පෙන්වූ අවස්ථා ශ්‍රී ලාංකීය සමාජය තුල විරල නැත. එය සමාජ අත්දැකීමක් බවට අද පත්වී හමාරය. අධිවේගී මාර්ගය ඉදිවන විට තැඹිලි විකිණිය හැකි බව පවසමින් සුරංගනා ලෝක වල මිනිසුන් අතරමං කරන ලදි. එපමණක් නොව වික්ටෝරියා ගෝල්ෆ් පිටිය සදහා මහබේරිතැන්න ගොවිපල නතුකර ගැනිමේදී ව්‍යාපෘති ආයෝජකයන් කිවේ සියලු යටිතල පහසුකම් රැකිරක්ෂා ආදී සකලවිධ සමෘද්ධිය ලගාවන බවයි. මීට වසර 15කට 18 කට පෙර පැවසූ වික්ටෝරියා ගෝල්ෆ් පිටියෙන් රටට ඇතිකල ආර්ථික ලාභය කුමක්ද?
වර්තමානය තුළ මෙම හීනය වේලි ඔය ගොවි ජනතාවට ද ඇති කිරීමට සොරගුණේ ගෝල්ෆ් පිටිය සම්බන්ධව පරිසර තක්සේරු වාර්තාව සකස් කළ M.L. Environment Management Limited ආයතනය කටයුතු කරමින් සිටී.
තත්ත්වය මෙසේ හෙයින් සොරගුණේ වනාන්තරය විනාශ කිරිම ගම්මාන 35ක ජනතාවගේ ජීවිත ආර්ථිකය, සාමාජික හා සංස්කෘතික වශයෙන් අස්ථාවර කරන මෙම හෝටල් සංකීර්ණය හා ගෝල්ෆ් ව්‍යාපාරය හා නවතා දමන ලෙස ප්‍රාදේශීය භික්ෂූන් වහන්සේලා සහ වේලි ඔය ව්‍යාපාරයේ ඒකාබද්ධ ගොවි සංවිධානය විසින් 2011-07-04 දින හිටපු ඌව පළාත් මහ ඇමති ශෂේන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා වෙත ලිපියක් භාරදෙන ලදි. ඉන් ඵලක් නොවුනු තැන එවකට ජනාධිපතිව සිටී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට 2011-07-11 දිනැති ලිපියෙන් ඉල්ලීම් කළ ද එහි නිසි ප්‍රතිඵල දක්නට නොවීය. උක්ත කාරණයට අදාළව වඟකිව යුතු ආයතන 26ක් දැනුවත් කළද ජනතා අභිලාශයන් මුදුන්පත් කරගැනීමට අදාළව කිසිදු ආයතනයක් වගකීමක් නොගෙන නිහඬ පිළිවෙතක සිටින අවධියක යහපාලනය බලයට පත්විය.
යහපාලනයේ අපේක්ෂා පරිසරයට ජනතායට ළඟාවනු ඇතැයි සිවිල් සමාජය තුල මතයක් ගොඩනැගුන ද 2015-02-02 දිනැති ලිපියෙන් පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය සියලු කරුණු ඉදිරිපත් කරමින් පරිසර විනාශකාරි හෝටල් හා ගෝල්ෆ් පිටිය නතර කරන ලෙස ජනපති මෛත්‍රීගෙන් ඉල්ලීම් කළ ද එය යතාර්ථයක් නොවුනි.
ජනතා ඉල්ලීම් උද්ඝෝෂණ හමුවේ පැවතුන සහ පවතින පාලන තන්ත්‍රයන් සුපුරුදු මුනිවත රකිමින් බෙරගල ගෝල්ෆ් රිසෝට් ව්‍යාපෘතියට හීන් සිරුවේ කරගෙන යාම අවශ්‍ය ඉඩ කඩ සපුරා ඇත.
සොරගුණේ වනාන්තරය ඇතුළුව සමනල ප්‍රදේශය තුල වාර්තා වන සත්ත්ව විශේෂ ගණන 309 කි. ආවේනික විශේෂ ගණන 59 කි. විවිධත්වයෙන් ඉතා පොහොසත් සොරගුණේ වනාත්තරයට එල්ලවී ඇති අනතුර සුලුපට නොවන්නකි.
සොරගුණේ වනාන්තරය ඇතුළුව සමනල ප්‍රදේශය තුල වාර්තා වන සත්ත්ව විශේෂ
සත්ව විශේෂය දැනට වාර්තාගත සංඛ්‍යාව
උභය ජීවීන් වර්ග 23
උරග වර්ග 76
ක්ෂීරපායීන් 44
පක්ෂි විශේෂ 208
මත්ස්‍ය 39
(Source- A Vertebrate Faunal Survey of Samanala Wewa, Towards Declaration as a Wildlife National Park, 2010 ,L. J. Mendis Wickramasinghe, Herpetological Foundation of Sri Lanka (HFS),.Natural Resource conservation and management program ,Green movement of Sri Lanka, Nugegoda)
සොරගුණේ වනාන්තරය ජාතික වටිනාකමකින් සංරක්ෂණය කළ යුතු වුවද පාරිසරික වටිනාකම් උකසට තබා ඩොලර් මුදලින් බලය තහවුරු කරගන්නා පාලකයන් සිටින දියුණු වෙමින් පවතින රටක් වීම අප ලද අවාසනාවකි. නිදහසින් පසු අපට ඉතිහාසයෙන් උරුම වූ විජාතිකයන් අපේ සම්පත් උදුරාගැනීමට එළන දැලේ ඇස් ඇතත් තම නොතිත් බලඋවමනාව වෙනුවෙන් පාලකයන් අන්දයන්සේ කටයුතු කිරිමේ ප්‍රතිපත්තියයි.
අප මාතෘ භූමිය යටත් කරගත් සමයේ සිට ස්වභාවික සම්පත් මංකොල්ලකෑම කඩා බිඳදැමීම සිදුකරන ලදි. දියුණු වන රටවල් සෑම විටම සංවර්ධනයේ සිහිනය තුන්වන ලෝකයේ රටවල් හමුවේ කාර්මීකරණය, නූතනකරණය, ගෝලීයකරණය වැනි සටන් පාඨ තුළ සිටගනිමින් සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන්හි ජාතික සම්පත් හා පාරිසරක සම්පත් ගජරාමෙට සූරාකෑමයි. මෙම යථාර්ථයට අද අප මුහුණ දෙමින් සිටී. වර්තමාන දේශපාලන කරළිය තුළ උස් හඩින් කථාකරන වචනයක් වනුයේ විජාතික බලවේග යන්නයි. ඉතිහාසය අධ්‍යයනය කිරිමේදී විජාතික බලවේගයන් හි ඇස ප්‍රබලව යොමුවූයේ ජාතික සම්පත් හා පරිසරික සම්පත් වෙතට ය.
සොරගුණේ වනාන්තරය අද දවසේ මුහුණ දෙමින් සිටින්නේ ද එම විජාතික හස්තයේ භයානක උවුදුරට ය. ඉතා වටිනා පාරිසරික සම්පත් මත සංචාරකයන්ට බාල් නැටීමට සැලසුම් සකස් කිරීම හා ඊට අනුබල දීම සංවර්ධනය ලෙස අර්ථ විග්‍රහ කිරීම විජාතික සිතුම් පැතුම් ඇත්තකුට හැර දේශමාමක සැබෑ දේශ හිතෛෂියකුට කල නොහැක.
සොඳුරු සොරගුණේ වනාන්තරයට අනතුරක් ඇත. එම අනතුරෙන් අනාරක්ෂිත වන්නේ ගම්මාන 35ක අහිංසක ගොවි ජනතාවයි. ගහේ කොළේ ජලයේ සිසිලස නූපන් හෙට දවසට සුරක්ෂිත කිරීම සියලු අංශ වල පුරවැසියාගේ වඟකීමයි. අද දවසේ අප වෙත පැවරෙන වඟකීම හිසින් දරා මැදිහත් නොවන්නේ නම් පාරිසරික සම්පත් මතු පරපුරට අහිමිවනු ඇත. එවිට ඔවුන් අප මල සොහොන් බිමට පවා කෙළ ගසුන ඇත. සාප කරනු ඇත. ජාතික වුවමනාවකින් සොරගුණේ වනාන්තරය සුරැකීම හා සංරක්ෂණය කිරීම විෂයෙහි හඬනැගිය යුතු නොවන්නේ ද?
පුජ්‍ය වෑකඳවල රාහුල හිමි
පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය
Leave a comment