නිදහසේ රස්සාව කරගන්න දෙන්න-සමුද්‍ර ආරක්ෂණ නිලධාරීන් ඉල්ලයි

November 23, 2015

ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ගේ පාලනයෙන් මුදවා තමාට නිදහසේ රැකියාව කරගෙන යාමට ඉඩකඩ සාදන ලෙස සමුද්‍ර ආරක්ෂණ නිලධාරීන්ගේ සංගමය ඉල්ලීමක් කරයි.

එම සංගමයේ කැඳවුම්කරු බී.අයි ආබ්දීන් මහතා අද (23) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ එවක ආරක්ෂක අමාත්‍යංශයේ සිටි දමයන්ති ජයරත්න මහත්මිය නාවික ඒජන්තවරුන්ට ලිපියක් යොමුකරමින් සියලුම සේවකයින් නැව්ගත කිරීමේ වගකීම ඇවන්ට්ගාඩ් වෙත පවරන බව දන්වා සිටි බවයි.

ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති ලිපියක් යොමුකරමින් ඒ සේවකයින් ලියාපදිංචි කිරීමට කටයුතු කරන ලෙස දන්වමින් ලිපියක් යොමුකර ඇති බවත්, පෞද්ගලික ආයතනයක් විසින් තවත් පෞද්ගලික ආයතන සමූහයකට එවැනි ලිපියක් යොමු කළ පළමු අවස්ථාව එය බවත් ඔහු සඳහන් කළේය.

ඒ අනුව කලින් සමුද්‍ර ආරක්ෂණ නිලධාරීන් ලෙස සේවය කරද්දී මාසිකව අ.ඩෙ 2800 ක මුදලක් වැටුප් ලෙස ලැබුණත් ඇවන්ට්ගාඩ් සමාගමට තමන් ඇතුළු සේවකයින් පවරාදුන් පසු ලැබුණේ ඩොලර් 900 ක් පමණක් බවත් හෙතෙම සිහිපත් කළේය.

එහෙත් තම වැටුප් පිළිබඳ කතා කෙරුවොත් ‍රැකියාවෙන් ඉවත්කරන බවට තර්ජනයක් එවන ලද ලියුමක දැක්වුණු බව ආබ්දීන් මහතා පෙන්වා දුන්නේය.

මීට පෙරාතුව මාධ්‍ය හමුවක් පවත්වමින් ‘ඇවන්ට්ගාඩ් සුරැකීමේ සංවිධානය’ නම් සංවිධානයක් තම සේවකයින් 12,000 ක් පමණ රැකියා අහිමිව සිටින බව ප්‍රකාශ කළ බවත්, එය අසත්‍යයක් බවත්, සමුද්‍ර ආරක්ෂණ නිලධාරීන් සිටින්නේ 1800 ක පමණ පිරිසක් බවත් ඔහු අවධාරණය කළේය.

කෙසේ වෙතත් සමුද්‍ර ආරක්ෂණ කටයුතු ඇවන්ට්ගාඩ් සමාගමෙන් ඉවත්කර නාවික හමුදාවට පැවරීමෙන් කිසිදු ගැටළුවක් ඇති නොවන බවත්, ඒ ආකාරයට තමන්ට නිදහසේ රැකියාව කරගෙන යාමට අවස්ථාව සලසා දෙන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p