අර්බුද සුළියකට හසු වූ ආණ්ඩුවක් මේක!

November 18, 2015

තනි මතයට ජිනීවාවලදී සියලූ තීරණගත් ආණ්ඩුව අද සර්වපාක්ෂික සමුළුවක් කැඳවන්නේ තමන් සිදුකළ පාපකර්මය අනෙකුත් පක්‍ෂ සමග සම සමව බෙදා ගැනීමටදැයි ජානිපෙ නායක, විමල් වීරවංශ  මහතා ප්‍රශ්න කරයි.

මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාව පිළිගෙන, අමෙරිකා එක්සත් ජනපදය විසින් රැගෙන ආ රටට, හමුදාවට විරුද්ධ යෝජනාව තම යෝජනාවක් බවට පත්කර ගත් ආණ්ඩුව සර්වපාක්‍ෂික සමුළුවක් කැඳවන්නේ ඒ පාපකර්මය සම සමව අනෙකුත් පක්‍ෂ සමග බෙදා ගැනීමටද යන සැකය මතු වන බව හෙතෙම කියයි.

අද (17) බොරැල්ල එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද සදහන් කළේය.

‘‘ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ගේ 70 වැනි ජන්ම දිනය වෙනුවෙන් ඒකාබද්ද විපක්‍ෂය සූදානම් කොට තිබෙන ජන්ම දින සමරු පුණ්‍ය උත්සවය හෙට(18) සවස 4:00ට අනුරාධපුරය ඓතිහාසික ශ‍්‍රී මහා බෝ සමිඳුන්ගේ පුද බිම තුළ පැවැත්වීමට නියමිතව තිබෙනවා. අපි මේ රටේ සියලූම කළගුණ දත් රටවැසියන්ට ආරාධනා කරනවා, ‘මේ අවස්ථාවට සහභාගී වෙන්න’ කියලා.

සර්වපාක්‍ෂික සමුළුව දෙවන වරටත් අද(17) දින ජනාධිපතිවරයා විසින් කැඳවා තිබෙනවා. පළමුවර කැඳවපු අවස්ථාවේදී ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන පක්‍ෂ ලෙස අපි ඊට සහභාගී වූ බව ඔබ දන්නවා. මෙම සර්වපාක්‍ෂික සමුළුව කැඳවීමෙන් ජනාධිපතිවරයා බලාපොරොත්තු වූයේ කුමක්ද? කියා අපට තවමත් හරියට පැහැදිලි නැහැ. අපි විශ්වාස කරනවා රට ඉදිරිපිට තිබෙන බරපතළම අභියෝගය තමයි ‘ජිනීවා මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාවත් එම වාර්තාව පදනම් කොට ගෙන එක්සත් ජනපදය විසින් රැගෙන ආ යෝජනාවත් එම යෝජනාව තමන්ගේ යෝජනාවක් ලෙස ශ‍්‍රී ලංකාව පිළිගැනීමත් විසින් ඇති වී තිබෙන අන්තරාය’ කියලා. අපට මේ කාරණය පිළිබඳව පක්‍ෂ භේදයකින් තොරව බලන්න පුළුවන් වෙන්න  ඕනෙ. යුද්ධය ශ‍්‍රී ලංකා ආරක්‍ෂක හමුදා විසින් ජයග‍්‍රහණය කළ නිසයි මේ බටහිර මෙහෙයුමට අපේ රට ගොදුරු වෙලා තියෙන්නේ. මංගල සමරවීර මහත්තයලා ජිනීවා ගිහිල්ලා තමනුත් වැටිලා, රටත් වට්ටපු වලෙන් ගොඩ ගැනීම සඳහා යම්කිසි සාදනීය උත්සාහයක ජනාධිපතිවරයා හෝ මේ ආණ්ඩුවේ කවර හෝ පාර්ශ්වයක් නිරත වෙනවා නම්, එවැන්නක් අපට පෙනෙනවානම් ඊට අවශ්‍ය ශක්තිය ලබාදීමේ කිසිදු විවාදයක්, ගැටළුවක් අපට නැහැ. ‘සර්වපාක්ෂික සමුළුව කැඳවනු ලැබුවේ එවැනි උත්සාහයකට විය හැකිද?’ කියන සැකය මත තමයි ගියවර අපේ පක්‍ෂවල නියෝජිතයන් ඊට සහභාගී වුණේ.

අද වන විට මේ සර්වපාක්ෂික සමුළුවේ දෙවන සාකච්ඡා වාරය ආරම්භ වෙනවා. නමුත් කවර අර්ථයකින්වත් අපට පෙනෙන්නේ නැහැ ‘වැටුණු වලෙන් මේ රට ගොඩගැනීම සඳහා මේ ආණ්ඩුව සාමූහික ප‍්‍රයත්නයක් තුළ තීරණ අරගෙන ඉදිරියට යනවා’ කියලා. ‘ආණ්ඩුව විසින් තමන් අභිමත ආකාරයට සියලූ තීරණ අරගෙන, මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාවත් දොහොත් මුදුන් දීලා පිළිඅරගෙන, අමෙරිකා එක්සත්  ජනපදය විසින් රැගෙන ආ රටට, හමුදාවට විරුද්ධ යෝජනාවත් තමන්ගේ යෝජනාවක් බවට එකසිතින් පත්කරගෙන ඒ සියල්ලටම කර ගහලා ඒ පාපකර්මය සම සමව බෙදා ගැනීමටද මේ සර්වපාක්ෂික සමුළුව කැඳවන්නේ?’ කියන සැකය අපට තිබෙනවා. සර්වපාක්ෂික සමුළුවෙන් ජීනිවාවලදී මේ රට වැටුණු වලෙන් ගොඩගැනීමේ උත්සාහයක් ගන්නේ නැතිනම්, ‘මේ සර්වපාක්ෂික සමුළුවට දිගින් දිගටම සහභාගීවීම සුදුසුද?’ කියන කාරණය පිළිබඳව අද වන විට ඒකාබද්ද විපක්‍ෂයේ පක්‍ෂ අතර සංවාදයක් ඇති වී තිබෙනවා. ‘රට අන්තර්ජාතිකව පටලවපු උගුලේ තව තවත් හිර කරන්න ඒකාබද්ද විපක්‍ෂයට කිසිදු උවමනාවක් නැහැ. අපට උවමනාව තියෙන්නේ ඒ හිර කරපු උගුලෙන් මේ රට බේරා ගන්න. බේරා ගැනීම සඳහා අවංකව උත්සාහ දරන ස්ථානයක් නම් සර්වපාක්ෂික සමුළුව, ඒ සඳහා සහභාගී වීමේ ගැටළුවක් අපට නැහැ. නමුත් ඒ වෙනුවට මේ රට ඇදවට්ටපු අන්තරායට සම සමව වගකියන හවුල්කාරයන් වීමට හෝ එවැනි ‘සර්වපාක්ෂික මල්වට්ටියකට’ අතගහන්න හෝ ඒකාබද්ද විපක්‍ෂයේ පක්‍ෂ ලෙස අපට කිසිදු උවමනාවක් නැහැ. අපි තවදුරටත් නීරික්‍ෂණය කරනවා සර්වපාක්ෂික සමුළුවේ භූමිකාව පිළිබඳව. ඒ අනුව ඒකාබද්ද විපක්‍ෂය ලෙස එහි නායක දිනේෂ් ගුණවර්දන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වෙලා මේ පිළිබඳව මීට වඩා වෙනස් තීරණ ගන්න වුණත් අපට සිදු වේවි.

මේ ආණ්ඩුව දෙමුහුන් ආණ්ඩුවක් බව කවුරුත් දන්නවා. මේක එළ හරකා සහ මී හරකා එකට ගැට ගහලා හාන්න හදන ආණ්ඩුවක්. එළ හරක් සහ මී හරක් එකට ගැට ගහලා තියෙන නිසා, සමහර වෙලාවට එළ හරක් කෑගහනවා, ‘මේ ආණ්ඩුවත් එක්ක ඉඳලා වැඩක් නැහැ. යහපාලනය ඇත්තේවත් නැහැ’ කියලා. ඒ වගේම හිටපු ගමන් මී හරක් කෑගහනවා, ‘අපේ ආණ්ඩුව බිඳ වට්ටන්න ඇතුළෙන් කුමන්ත‍්‍රණයක් දියත් වෙනවා’ කියලා. මේ ආණ්ඩුවේ ආයු කාලය මාස 10ක් වුණාට අවුරුදු 10ක ආණ්ඩුවකට හැදෙන හැම ලෙඩක්ම දැන් හැදිලා තියෙන්නේ. දැන් ආණ්ඩුවේ ඇමතිවරු දෙකට බෙදිලා එක පිරිසක් ‘ඇවන්ට් ගාඩ්වාදියෝ’ වෙලා. තව පිරිසක් ‘ඇවන්ට් ගාඩ්විරෝධියෝ’ වෙලා. ‘ඇවන්ට් ගාඩ්වාදීන්ට’ අනෙක් අය කියනවා ‘ඔයගොල්ලො ඇවන්ට් ගාඩ්කාරයාගේ සල්ලි අරගෙන’ කියලා. ඇවන්ට් ගාඩ්වාදියෝ ‘ඇවන්ට් ගාඩ් විරෝධීන්ට’ කියනවා ‘ඔයගොල්ලො ඇවන්ට් ගා්ඩකාරයා එලවලා මේ බිස්නස් එක අතට ගන්න හදන හාදයන්ගෙන් සල්ලි අරගෙන’ කියලා. දැන් කැබිනට් ඇමතිවරුන්ට විතරක් නොවෙයි, ‘හංස පූට්ටුව’ හදන්න මුල් වුණු ෆොන්සේකා සහ අනුර දිසානායක මහත්තයලාටත් මේ චෝදනා එල්ල වෙනවා.

මේ ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා කියනවා, ‘මෙවර අය වැය එක එක ආකාරයේ බදු ගහන අය වැයක්. නමුත් ජනතාවට අමාරුවක් දැනෙන එකක් නැහැ’ කියලා. මම දන්නේ නැහැ, ජනතාවට අමාරුවක් නොදැනෙන්න බදු ගහන්න රවී කරුණානායක මහත්තයා කොහොමද හොයා ගත්තේ? කියලා. ලෝකයේ කොහෙවත් නැහැ ජනතාවට අමාරුවක් නොදැනෙන බදු. තියෙන්නේ එක්කෝ වක‍්‍ර බදු, නැතිනම් ඍජු බදු. ඒ දෙකෙන්ම අවසානයේ සාමාන්‍ය ජනතාවට අමාරුවක් දැනෙනවා. යහපාලන ආණ්ඩුවේ මුදල් ඇමතිතුමා ජනතාවට අමාරුවක් නොදැනෙන අපූරු බදු වගයක් හෙයා ගෙන තිබෙනවා. මේ මොන සුරංගනා කතා කිව්වත්, ඒ අය ගහන්න හදන බදු කන්දරාව, රාජ්‍ය අංශයේ සිදු කිරීමට නියමිත බරපතළ කප්පාදුව කැත නැතිව එළියට එන අය – වැයක් බවට මේ අය – වැය පත් වේවි.

එළ හරකා සහ මී හරකා එකට ගැට ගහපු ආණ්ඩුවට ඔවුන්ගේ අභ්‍යන්තර ප‍්‍රශ්න විසදාගන්නවා හැර මෙතෙක් ජනතාවට කිසිදු දෙයක් ලබා දෙන්න බැරි වෙලා තියෙනවා.  රාජිත සේනාරත්න අමාත්‍ය මණ්ඩල ප‍්‍රකාශකයාට ‘වාචාලයා කියලා කියන්නේ ඒ ගොල්ලන්ගේම කට්ටිය. ඒ අයගේම අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍යවරයාට ඇතුළෙන්ම චෝදනා එල්ල වෙනවා. මෙහෙම අර්බුද සුළියකට හසු වූ ආණ්ඩුවක් බවට අද මේ ආණ්ඩුව පත් වෙලා තිබෙනවා.

ජීවන වියදම ඉහළ යාමට බලපාලා තිබෙන ප‍්‍රශ්න ටික බලන්න. මේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩල සාමාජිකයන්ට අමු මිරිස් කරල ගානේ කවන්න  ඕනෙ, ‘ගාණ කීයද?’ කියලා තේරෙන්න. එළවළු ඇතුළු පාරිභෝජන භාණ්ඩවල මිල ගණන් ඉතිහාසයේ කවර අවස්ථාවකදීවත් මේ තරම් කඩිනමින් ඉහළ ගියේ නැහැ. හැබැයි මේ ගැන කිසිම ඇමතියකුට ‘වගේ වගක්’ නැහැ. පාරිභෝගික කටයුතු භාර ඇමතියෙක් හොයා ගන්නවත් බැහැ. මේ සියල්ල මේ විදියට වෙන්න ඇරලා ඔවුන් ජනතාවට වෙන වෙන ‘ජවනිකා, නාට්‍ය’ පෙන්වනවා.

අය – වැය ඉදිරිපත් කිරීමත් සමග මේ ආණ්ඩුවේ සැබෑ ස්වරූපය අනාවරණය වෙනවා. රැවටුණු අයට තේරෙයි, ‘ලැබුණු ආණ්ඩුව, ලැබුණු වෙනස මොන තරම් අපූරුද?’ කියලා. ඒ තත්වය සමග ලබන ජනවාරියේ පටන් ඒකාබද්ද විපක්‍ෂය ලෙස අපි බලවත් ඉදිරි පියවර රැසක් ගැනීමට සූදානමින් සිටිනවා. ඒ ක‍්‍රියාමාර්ග සමග එක්සිත්ව, සමගි සම්පන්නව, ඒකාබද්ධ වෙන්න කියලා, අපි මේ රටේ පොදු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.’’

ඒකාබද්ධ විපක්‍ෂයේ නායක, මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා

‘‘ජිනීවා යෝජනාවට ශ‍්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා එකගවී තිබෙනවා. මෙය ශ‍්‍රී ලංකාවට එරෙහි යෝජනාවක්. එමගින් ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට එරෙහි කටයුතු ගණනාවක් ක‍්‍රියාත්මක වෙනවා. මේ තුළ අපේ ආරක්‍ෂක හමුදාවන් දඩයම් කිරිමේ වැඩපිළිවෙළක් තිබෙනවා. ජිනීවා පාවාදීමේ යෝජනාව ගැන ආණ්ඩුව ඇතුළේ මත දෙකක් තියෙනවා. විශේෂයෙන් නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ මහජන ආරක්‍ෂක ආඥා පනත අහෝසි කිරීම සම්බන්දයෙන් දරන ස්ථාවරය පෙන්වා දෙන්න පුළුවන්. මේ රටේ නීතියට අනුකූල අධිකරණ විසින් ගත්තු තීරණ ආපසු හැරවීමේ සූදානමක් මේ යෝජනාව ක‍්‍රියාත්මක වීම මගින් සිදු කෙරෙනවා. අද උතුරේ හර්තාල් මගින් නීතියට පිටින් ඉල්ලීම් දිනා ගන්න හදනවා. ඒක රටේ ජාතික ආරක්‍ෂාවට බලවත් හානියක්’’

මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා.

‘‘පසුගිය රජය සමයේ අපි කොටි සාමාජිකයන් 12,000ක් පුනරුත්ථාපනය කළා. ‘ඉතිරි 234 දෙනා පුනරුත්ථාපනය කිරීමට පවා නුසුදුසුයි. ඔවුන් නිදහස් කිරීමෙන් රටේ ආරක්‍ෂාවට සහ සමාජයට හානියක් සිදු වේවි’ කියන මතයයි පැවතුණේ. පසුගියදා ශ‍්‍රී ලංකාවට පැමිණි  ඕස්ට්‍රේලියානු විදේශ ආමාත්‍යවරිය, හමුවීමට සුමන්තිරන් මන්ත‍්‍රීවරයා ආවා. ඔහු ඉල්ලූවා එතුමියගෙන් ‘ ඕස්ට්‍රේලියානු විනිසුරුවරයකු එවන්න‘ කියලා. TNA එකට එහෙම කරන්න තියෙන අයිතිය කුමක්ද? මේක සැලසුම් සහගත විශේෂ වැඩපිළිවෙළක්. මෙහි එක අරමුණක් තමයි ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ මහජන ආරක්‍ෂක ආඥා පනත අහෝසි කිරීම. මහජන ආරක්‍ෂක ආඥා පනත 1947 සම්මත වූ පනතක්. සමාජය ආරක්‍ෂා කිරීම සදහායි එය ක‍්‍රියාත්මක වුණේ.

රණවිරුවන්ට නඩු පැවරීම සදහා අලූත් අපරාද නීති හදාවි. විදේශීය විනිසුරුවන් සහිත අධිකරණයකින් නඩු අහලා ඔවුන්ට දඩුවම් කරන්නයි හදන්නේ. මේ සියල්ලට අහු නොවන රණවිරුවන්ට පරිපාලන ක‍්‍රියාදාමයක් මගින් දඩුවම් කරන්නයි හදන්නේ. මේ සියල්ලට ශ‍්‍රී ලංකා ආණ්ඩුව එකග වී තිබෙනවා. මේ ආණ්ඩුව ඡන්දය ලබාගත්තේ TNA ඇතුළු සියලූ පාර්ශ්වවලට පොරොන්දු දීලා.

මේ සියල්ල අතරේ දැන් සර්වපාක්‍ෂික සමුළුවක් පටන් ගන්නවා. නමුත් මෙම සර්වපාක්ෂික සමුළුව පැවැත්වීමට තිබුණේ ජිනීවා යෝජනාවට එකගවීමට පෙරයි. මේක ජනතාව මුලා කිරිමේ වැඩපිළිවෙළක්. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම ඇතුළු මේ සියල්ල සිදු වෙන්නේ, බලපෑම මත දුන් පොරොන්දු නිසා මිස, ඒවා නිවැරදි නිසා නොවෙයි.’’

ජාතික නිදහස් පෙරමුණ
2015.11.17

Sammy

Previous story Next story

Leave a comment

t

o

p