එම්. ජී. ධනුෂ්කට ලක්ෂ පහක ශරීර ඇප

September 17, 2015

බැරිම තැන තමයි උසාවියේ පිහිට පැතුවේ

– සරත් ප්‍රනාන්දු

Sarthගොඩින් බේරාගන්න තිබුණු ගැටලුවක් මේ තරම් දුරදිග අරන් ගියේ ඇයි ?
අපි ධනුෂ්කට කලින් දැනුම් දුන්නා කරුණාකරලා අපේ තාත්තාගේ ගීත ගායනා කරන එක නවත්වන්න කියලා. ඒත් ඔහු ඒකට ඇහුම්කන් දුන්නේ නැහැ. බැරිම තැන තමයි අපට උසාවියේ පිහිට පතන්න සිද්ධ වුණේ.

පෞද්ගලිකව කතා කරලා ද ඒ දැනුම් දීම් කළේ ?
ඔව්. පෞද්ගලිකවත් කතා කළා. ඒ වගේම මාධ්‍ය හරහාත් දැනුම් දුන්නා. අන්තිමේදී ඔහු ඒ ගීත ගායනා කරන එක නවත්වන්න සති දෙකක කාලයක් ඉල්ලලා තිබුණා. ඒ වුණාට සති දෙකකිනුත් ඒක නතර වුණේ නැහැ. අන්තිමේදී එන්තරවාසියක් යැව්වත් ඒකටත් පිළිතුරක් ලැබුණේ නැහැ.

කොහොමද ආරංචි වුණේ ඔහු ඒ ගීත ගායනා කරන එක නවත්වලා නැහැ කියලා ?
රෑ තිස්සේ ගායක ගායිකාවන්ගෙන් ඇමතුම් එනවා. අන්න එම්.ජී. ධනුෂ්ක අහවල් ෂෝ එකේ තාත්තාගේ සින්දු කියනවා. ඔයාලා ඉන්න ඕන තැන තමයි දැන් එයා ඉන්නේ කියලා.

ඔහු ගැන තියෙන ඊර්ෂ්‍යාව නිසාද මේ වගේ නීතිමය පියවරක් ගන්න හිතුවේ ?
අපිට එයා ගැන කිසිම ඉරිසියාවක් හෝ තරහක් නෑ. ඩී්‍රම් ස්ටාර් තරගාවලිය පුරාම ඔහු අපේ තාත්තාගේ ගීත 10ක් විතර නොයෙක්වර ගායනා කළා. අවසන් වටේදීත් ඒ ගීත ගොඩක් ගායනා කරලයි පළමු වැනියා වුණේ. ඒත් අපි එයාට ඒ ගැන කිසිම දෙයක් කියන්න ගියේ නැහැ. ඔහුට ඉදිරියට එන්න අතදීමක් විදිහටයි එහෙම කළේ. ඒත් ඔහු ඒක නැවැත්තුවේ නැති නිසා අපිට බොහොම අපහසුතාවලට මුහුණ දෙන්න වුණා.

මොනවාද ඒ සිදුවීම් ?
මට ආරාධනා කරපු සමහර ප්‍රසංගවලට අන්තිමේදී මාව ඉවත් කරලා එම්.ජී. ධනුෂ්කව ගෙන්නුවා. ප්‍රසංග 20කදී විතර මට ඔය අත්දැකීමට මුහුණ දෙන්න සිදුවුණා. මගේ පවු‍ලේ අයටත් ඒ වගේ සිදුවීම්වලට මුහුණ දෙන්න වුණා. මේ සිදුවීම් නිසා අපට සිත් රිදීම් ගොඩක් සිද්ධ වුණා.

ඔබේ පියාගේ ගීතවල අයිතිය දැන් තියෙන්නේ ඔබටද ?
තාත්තාගේ ගීත කියන්නේ අපේ පවු‍ලේ අයට අයිතිවුණු බුද්ධිමය දේ‍පොළක්. තාත්තා මොනතරම් මඩකාලා, මොනතරම් අමාරුවෙන්ද මේ ගීත ජනතාව අතරට ගෙන ගියේ. ඒ තරම් අමාරුවෙන් ගායනා කරපු ගීත තමයි මෙයාලා කිසිම අමාරුවක් නැතුව ප්‍රසංගවලදී ගායනා කරලා දවසට ලක්ෂ 1 1/2- 2 හොයන්නේ.

මේ ප්‍රශ්නය තවත් දුරදිග ගෙනියන්නද බලා‍පොරොත්තු වෙන්නේ ?
මේ ගැන තීරණයක් ලබාදීම දැන් අධිකරණයට බාරයි. ඒ අධිකරණ ක්‍රියාමාර්ග ඉදිරියටත් ක්‍රියාත්මක වෙනවා. මේ වගේ පියවරක් මීට කලින් කවුරුවත් ගත්තේ නැහැ. වෙනත් මියගිය ගායක ගායිකාවන්ගේ පවුල්වල අයටත් ගීත අනවසරයෙන් ගායනා කරන අයට විරුද්ධව අධිකරණයේ පිහිට පතන්න මේ සිදුවීම හොඳ ආදර්ශයක්.

———————————————————

මාව වට්ටන්න කාටවත් බෑ

– එම්.ජී. ධනුෂ්ක

MGමොකක්ද ඇත්තටම වුණේ ධනුෂ්ක ?
එම්.එස්. ප්‍රනාන්දු මහත්තයාගේ සින්දු කිව්වා කියලා ඔහුගේ පවු‍ලේ අය මට නඩුවක් දැම්මා. උසාවියෙන් මට ඇප දුන්නා. එම්.එස්. ප්‍රනාන්දු මහත්තයගේ සින්දු කියන්න එපා කියලා තහනමකුත් දැම්මා. මට කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි අපේ සංගීත ක්ෂේත්‍රය ගැන කලකිරීමකුයි මට දැන් තියෙන්නේ.

ඔබ අවසරයක් නැතුව ගීත ගායනා කරපු නිසා නේද මේ ගැටලුව මේ තරම් දුරදිග ගියේ ?
මගේ අතිනුත් වැරදි සිද්ධ වෙන්න ඇති. ඒත්, මම එම්.එස්. ප්‍රනාන්දු මහත්තයාගේ සින්දු කිව්වේ මගේ තිබුණු ආසාවකට ‍නෙවෙයි. රසිකයෝ තමයි මගෙන් ඒ ගීත ඉල්ලුවේ. ප්‍රේක්ෂකයෝ මාව එක සීමාවකට කොටු කළා. හැබැයි මම කවදාවත් ඒ ගීතවලට අපහාස වෙන විදිහට ගායනා කරලා නැහැ. මම නිසා රසිකයෝ ඒ ගීතවලට තවත් ආදරය කරන්න පටන් ගත්තා.

හැබැයි, ඔබ ඒ ගීත ගායනා කළේ මුදලටයි එහෙම කරන එක හරිද ?
ඔව්. මම ඒ සින්දු කියලා සල්ලි ගත්තා තමයි. මම එහෙම කළේ ජීවත් වෙන්නයි. එහෙම නැතුව ඒ සල්ලි වලින් හෝටල් ගහන්නවත්, ඉඩම් කඩම් මිලදී ගන්නවත් ‍නෙවෙයි. මිනිස්සු හිතනවා මම ප්‍රසංගවලින් ලක්ෂ ගණන් හම්බ කරනවා කියලා. ඒවා බොරු කතා.

එම්.එස්. ප්‍රනාන්දු මහතාගේ ගීත ප්‍රසංගවලදී ගායනා කරන්න එපා කියලා ඔහුගේ පවු‍ලේ අය කරපු දැනුම් දීම්වලටවත් ඔබ කන්දුන්නේ නැහැ නේද?
රසිකයෝ ඒ සින්දුම තමයි ප්‍රසංගවලදී මගෙන් ඉල්ලන්නේ. සමහර වෙලාවට මගේ සින්දුවක් කිව්වොත් ඕවා මොනවාද? අපිට ඔය සින්දු වලින් වැඩක් නෑ කියලා ප්‍රසංගවලදී ප්‍රේක්ෂකයෝ කියපු අවස්ථාවලුත් තියෙනවා.

ඒ කියන්නේ ඩී්‍රම් ස්ටාර් කිරුළ දිනාගත්ත එම්.ජී. ධනුෂ්කට තමන්ගේම කියලා ගීතයක් ජනප්‍රිය කරවා ගන්න බැරිද?
මගේ ගීත ජනප්‍රියයි. හැබැයි අපිට ගැටලු ගොඩකට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා. විද්‍යුත් නාලිකා අතරේ තියෙන ප්‍රශ්න නිසා සමහර නාලිකාවලින් අපේ ගීත ප්‍රචාරය කරන්නේ නෑ. සමහර නාලිකාවලට ලක්ෂ ගණන් මුදල් ගෙවලයි ගීතයක් ප්‍රචාරය කරන්න වෙන්නේ. මේවා මට විතරක් ‍නෙවෙයි හුඟදෙනකුට තියෙන ගැටලු.

නඩුව තවම ඉවර නෑ. ඔබට එරෙහි පැමිණිල්ලට උසාවියෙන් මොනවගේ තීන්දුවක් ලැබේවිද?
සමහර විට මට වන්දියක් ගෙවන්න වේවිද දන්නේ නැහැ. ලොකු වන්දි නම් මට ගෙවන්න පුළුවන්කමක් නෑ. මම මීට කලින් පැමිණිල්ලකට ‍පොලීසියකට උසාවියකට ගිහින් නෑ. ඒත් මේ සිද්ධිය නිසා මට ඒවාට යන්න වුණා. අපි වාහනයක් එහෙම අරගෙන හොඳින් ඉන්නවා දකින කොට සමහරුන්ට ඉරිසියායි. ඒ අයට වඩා මම සල්ලි හම්බකර ගනීවි කියලා බය වෙනවා. ඒ නිසා තමයි මේ ඔක්කොම ගැටලු.

මේ ප්‍රශ්න නිසා එම්.ජී. ධනුෂ්ක දැන් හොඳටම වැටිලා නේද ඉන්නේ ?
මාව වට්ටන්න කාටවත් බෑ. මොකද මීට වඩා කටු කාලා දුක් විඳලයි මම මේ ගමන ආවේ. කවුරු මොනවා කිව්වත් මගේ ගමන මම යනවා

දෙරණ නාලිකාවෙන් ඔබට නියම කරපු මිල ද තවමත් ඔබ ප්‍රසංගවලදී අය කරන්නේ ?
එහෙම දෙයක් නෑ. සමහර ප්‍රසංගවලට ගියාම ලැබෙන්නේ බොහොම අඩු මුදලක්. සමහර ඒවාට නොමි‍ලේත් යනවා. සමහර ප්‍රසංගවලින් ‍පොරොන්දු වෙන මුදල ගෙවන්නෙත් නැහැ. අනෙක තනියම ‍නෙවෙයි, මගේ ර්.ට්. ඹඪබඩ ඬ බෑන්ඩ් එකත් එක්කයි මම දැන් ප්‍රසංගවලට යන්නේ.

තමන්ගේ ගීත ගායනා කරලා ඉදිරියට යන්න පුළුවන් තත්ත්වයක් දැන් ඔබට තියෙනවාද ?
ඔව්. මම අලුතෙනුත් ගීත කිහිපයක් ගායනා කළා. රූප රචනා තියෙන ගීතයකුත් ඒ අතරේ තියෙනවා. බෑන්ඩ් එකේ ගීත කිහිපයකුත් එළිදක්වන්න නියමිතයි. ඉදිරියේදී කොහොමත් මගෙන් අලුත් දේවල් ටිකක් රසික රසිකාවියන්ට දැකගන්න පුළුවන් වේවි.

හැබැයි එම්.ජී. ධනුෂ්කගේ හඩින් එම්.එස්. ප්‍රනාන්දුගේ ගීත නැවතත් අසන්නට නොලැබේවි.
අ‍පොයි ඔව්. මම විතරක් ‍නෙවෙයි මගේ බෑන්ඩ් එකේ ශිල්පියෙකුටවත් මම එම්.එස්. ප්‍රනාන්දු මහතාගේ ගීත ගායනා කරන්න ඉඩ දෙන්නේ නැහැ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p