පසුගිය ජනවාරි 08 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ දිනයේ පළමු වතාවට දේශපාලන වේදිකාවක් ඇමතුවේය.
හිටපු ජනාධිපතිවරයාට ඇති ජීවිත අවධානමට සරිලන අන්දමේ ආරක්‍ෂාවක් සපයා නොතිබූ එම රැළියේදී සිය ජීවිත අවධානමද නොතකා පැයක පමණ කාලයක් ඔහු සිය කතාව පවත්වද්දී රැස්ව සිටි අති වශාල ජනතාව ඉතා හැඟීම්බර විය.
මැදිවිය ඉක්වමූ කාන්තාවන්, හැඩි දැඩි පිරිමින් පිටියේ තැන තැන රහසින් කඳුළු පිසිනු සුලභ දසුනක් විය. විටෙක ඔවුහු අත් ඔසවා මහ හඬින් අත්පොලසන් දුන්හ. තවත් විටෙක දැහැනකට සමවැදී මෙන් මේ ප‍්‍රතාපවත් මිනිසාගේ කතාව අසා සිටියේය.
සාමාන්‍යයෙන් දිගු වේලාවක් කතා නොපවත්වන හිටපු ජනාධිපවරයා ඊයේ දින පැයක පමණ කාලයක් සිදුකල කතාවේදී 50 දශකයේ සිය දේශපාලන දිවිය ආරම්භය, මන්ත‍්‍රී ධුරයක් දැරීම, ජනාධිපති වීම, ජනාධිපතිවරණයෙන් පැරදීම, මැතිවරණයෙන් පැරදී ගතවූ කාලයේ නිවසේ සිටියදී ලද අත්දැකීම්, කළගුණ දත් මිනිසුන්ගේ දුක් සුසුම්වලින් සිය නිවෙස පිරී ගිය අයුරු, ලෝකයක් ඉදිරියේ බිය නොවී ආදණීය මවුබිම පාවා නොදී ත‍්‍රස්තවාදීන් වැනසූ සටනේදී දැනුනු හැඟීම් ඔහුගේ දේශණය පුරා ගලා ගියේය.
අදටද කිසිවෙකු නොදන්නා තරම් දැඩි වූ විදෙස් පීඩනය ඉදිරියේ මවුබිමත් එහි ජනතාවත් පාවා නොදෙන්නේම යයි ස්ථිරව පිහිටා කොන්ද නොනැමූ බව කියද්දී රැස්ව සිටි ජනතා එක දිගට ඔල්වරසන් දුන්හ.
චීන මිතුරා හා එක්ව ලක් පොලොව එකම වැඩබිමක් කලේ තමනට නොව දැයේ දරුවන්ට යයිද ඔවුන් අනාගතයේදී අභිමානවත් ශ‍්‍රී ලංකාවක නිවහල් මිනිසුන් වීම තම නොනිමි සිහිනය වූ නිසා යයිද ඔහු පැවසීය.
ප‍්‍රතිවාදීන්ට මඩ ගැසීම් කිසිත් නොකල ඔහු සුපුරුදු ලෙස දේශපාලන විවේචන පමණක් ඉදිරිපත් කලේය.
තමනට උපයන්ට කිසිත් නැති බවත් ජනතා ආදරය ඇති තරම් උපයා ඇති බවද බලයේ සිටිද්දී තමන් කිසිදා දැක නැති, කිසිම පුද්ගලික උදවුවක් නොඉල්ලූ ඈත පිටිසර ගම් දනවුවල කල ගුණ දත් මිනිසුන් පැරදුනු තමන් සොයා එන්නේ ඒ නිසා බවත් ඉතා හැඟීම්බරව කී හිටපු ජනාධිපතිවරයා තමන් මවුබිමට ද්‍රෝහී වී නැත්තේ යයි මිල කල නොහැකි නිහතමානී අඩම්බරයකින් පපුව පිරී ඇතැයිද කීවේය.
‘මැයි 18 යුද්දෙ දිනලා ජාතික කොඩිය උස්සගෙන ජය සමරපු අත්වලින් ඡන්දෙ දීලා මාව ගෙදර යැවුවා නේද’ යි ඔහු අසද්දී ඊට එල්ල වූ දැඩි විරෝධය නිසා ‘නෑ.. නෑ.. ඹයාල නෙමෙය’ කියා ජනතාව සන්සුන් කරන්නද ඔහුට සිදුවිය.
ඇතැම් විටෙක රාජපක්‍ෂ මහතා තත්පර ගණනාවක් කතා නොකර හැඟීම්බරව සිටි අතර මුළු පිටියම එම අවස්ථාවන්වලදී ඔහු හා නිශ්ශබ්ද වූහ.
ඔහු සිය කතාව අවසන් කලේ ‘අපේ හාමුදුරුවනේ වැරදුනොත් මට සමාවෙන්න’ යයි අවසර ගෙන පාලි ගාථාවක් හා එහි තේරුමද කියමිනි.
Leave a comment