දැයක පැතුම දරා මහින්ද සුභ ගමනකට සැරසේ.. අලූයම කිරිඅම්මා දානයක් දී ගවයන් නිදහස් කරයි..

June 18, 2015

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආශිර්වාද කිරීමේ අරමුණෙන් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි සංවිධාන කළ කිරි අම්මාවරුන්ගේ දානමය පිංකමක් නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ දී අලුයම පැවැත්විණි.

ඊට සහභාගී වීමට පැමිණි රාජපක්ෂ මහතා ප්‍රථමයෙන් මල් පහන් පූජා කොට ආගමික ආශිර්වාද ලබා ගත්තේය. අනතුරුව දානමය පිංකම ආරම්භ කෙරුණු අතර කිරි අම්මාවරු රාජපක්ෂ මහතාට පත්තිනි මෑණියන්ගේ ආශිර්වාද පුද කළහ.

එහිදී අනුශාසනාවක් පැවැත් වූ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ එහිදී මෙසේ ප්‍රකාශ කළහ.

‘දැන් රටේ තිබෙන තත්ත්වය අපි අමුතුවෙන් කාටවත් පුන පුනා කියන්නට අවශ්‍ය නැහැ. මේ රට තිබුණේ කොහොමද ගොඩ ගත්තේ කොහොමද අද මේ රටට සිදු වන්නේ කුමක්ද යන්න මේ කාටත් පැහැදිලිව පෙනෙනවා. මහ පාරට බැස්සාම මිනිස්සු කියන්නේ පාරේ කුණු ඉවත් කරන්නවත් කෙනෙක් නැහැ කියලයි. ගෝඨාභය රාජපක්ෂ ලේකම්තුමා ඉදි කළ සක්මන් මළු ජරාවාස වෙලා. ඒ නිසා මම ඒවා කියන්න අදහස් කරන්නේ නැහැ. කවුරුත් ඒවා තේරුම් ගත යුතුයි.

යම් යම් දෙනා පුවත්පත්වලට ප්‍රකාශ කර තිබුණා මේක අභයාරාමය නොවේ මහින්දාරාමය කියලා. සමහර පත්තරවල කාටුන් දානවා. මේ මාධ්‍යවේදීන්ට මම කියන්න ඕනේ කාටුන් හරි මොනවා හරි දානකොට දැනුවත් වෙලා දාන්න කියලා. ඊයේ පෙරේදා පත්තරයක කාටුන් එකක් තිබුණා මහින්ද රාජපක්ෂ මහතා බෝ මළුව අමදින ආකාරයට ඇඳලා. මේ ‍මාධ්‍යවේදීන් තේරුම් ගන්න ඕනේ මෛත්‍රී වර්ණනාවේ තිබෙන්නේ බෝ මළුව අමදින්නෝ මෛත්‍රී බුදුන් දක්නෝ- විහාර මළු අමදින්නෝ මෛත්‍රී බුදුන් දක්නෝ කියලයි.

ඒ නිසා මම ඒ අයට කියනවා කෝකටත් මෛත්‍රී වර්ණනාව කියවලා බලන්න. ඉතිහාසය කියවලා බලන්න. මේ රටේ රජවරු ආරක්ෂා කළේ, රජවරුන්ට පිහිට වුණේ, රජවරුන්ට සෙත් ශාන්ති කළේ විහාරස්ථානවලින්. මහා සංඝරත්නය තමයි රජවරුන්ට පිහිට වුණේ. ඊයේ පෙරේදා මගෙන් එක මාධ්‍යවේදිනියක් අහනවා ඔබවහන්සේ මහින්ද රාජපක්ෂ මහතාට ඇයි මෙතරම් සලකන්නේ කියලා. මම කිව්වා මේ රට ගොඩගත් පුද්ගලයා මහින්ද රාජපක්ෂ නිසයි මම එතුමට සලකන්නේ කියලා.

බුදු හාමුදුරුවන්ගේ ධර්මය අනුව අප කළ යුත්තේ අනුන්ට උපකාර කිරීමයි. කෘතගුණ දැක්වීමයි. මහින්ද රාජපක්ෂ මහතා මේ රටට කළ සේවය වෙනුවෙන් අප කෘතගුණ දැක්විය යුතුයි. අපි භික්ෂූන් වහන්සේලා වශයෙන් එතුමාට ආශිර්වාද කළ යුතුයි. මේ රට වසර තිහක් ගිනි ගත් රටක්. මේ ජනතාවට නිදහසේ ඇවිදින්න, නිදා ගන්න බැරිව තිබුණු රටක්. ඒ රට බේරා ගත්තේ මහින්ද මහතායි. ඒක අමුතුවෙන් කාටවත් කියා දිය යුතු නැහැ. ඔවුන් එය තේරුම් ගත යුතුයි.

අද මහින්ද රාජපක්ෂ මහතාට මම විතරක් නොවෙයි මුළු රට ආශිර්වාද කරනවා. සුබපතනවා. මුළු රටම කම්පා වෙනවා අනේ දෙයියනේ මොකද වුණේ කියලා. සමහරු කියනවා ඡන්දය දුන්නේ පරාජය කරන්න නොවේ කියලා. අවබෝධයකින් තොරවයි ඡන්දය දීලා තිබෙන්නේ. මේ රටේ කෘතගුණ දන්න බෞද්ධ ජනතාව මහින්ද මහත්තයාව අමතක කරන්නේ නැහැ කවදාවත්. අද තිබෙන්නේ ඊර්ෂ්‍යාව සහ ක්‍රෝධය පමණයි. අපේ හිටපු ජනාධිපතිතුමා යන තැන ජනතාව පිරෙනවා. රාජ්‍ය නායකයන් යන තැන මැස්සෝ ඇහිරෙනවා. ඒක අපට පේනවා.

මේ රටේ ජනතාව 58 ලක්ෂයක් මහින්ද රාජපක්ෂ මහතා ආරක්ෂා කරන්න කැප වී ඉන්නවා. ඒ අය බලාගෙන ඉන්නේ කවදද අපේ නායකයා එන්නේ කියලයි. ජනතාවට පක්ෂයක් අවශ්‍ය නැහැ. අවශ්‍ය වන්නේ නායකයකු පමණයි. ඒ නායකයා එන්නේ කවදාද කියන එක පුන පුනා අපෙන් අහනවා. අපේ එකම බලාපොරොත්තුව ගිනි ගත් රට ගොඩනැඟූ  නායකයාගේ පැමිණීමයි. මහින්ද මහත්තයා මේ රටට ආදරෙයි. මේ බිමට වැඳ නමස්කාර කරපු එකම නායකයා මහින්ද මහත්තයා පමණයි. ඒවා ජනතාවගේ හදවත්වල සනිටුහන් වෙලා තිබෙනවා.

අපි මේ දානයෙන් මහින්ද රාජපක්ෂ මහතාට ආශිර්වාද කරනවා. අද මේ ස්ථානයේ දී අපි මරණයට කැප වූ ගවයන් දෙදෙනකු නිදහස් කරලා ආශිර්වාද කරනවා. මේ දානය අපි සංවිධාන කළේ පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමේ අරමුණෙන්. මහින්ද රාජපක්ෂ මහතාට ආශිර්වාදයක්, ආරක්ෂාවක් ලැබෙන ආකාරයෙන්, එතුමාගේ ඉදිරි ගමන සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරමිනුයි අපි මේක සංවිධානය කළේ. රාජපක්ෂ මහතාට තිබෙන අපල, උපද්‍රව, හතුරු බලවේග දුරු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ රට නැවත වාරයක් ඉදිරියට ගෙනියන්න ලැබේවා කියලා අපි පතනවා’

– ප‍්‍රදීප් අනුර කුමාර

Sammy

Previous story Next story

Leave a comment

t

o

p