‘යහ’ පාලනය

April 3, 2015

මේ දිනවල නිරන්තරවම අපට ඇසෙන වචන දෙකක්‌ තිබේ. එය යහ පාලනය නම් වේ. අපගේ සමස්‌ත සමාජ ක්‍රියාවලිය මතු නොව පුද්ගල ආකල්ප, හැසිරීම් යනාදිය ද බරපතළ ලෙස පිරිහී ගොස්‌ තිබෙන බවත්, එයින් රට මුදා ගැනීම සඳහා අවශ්‍ය වන්නේ යහ පාලනය තහවුරු කිරීම බවත් පාලකයෝ සඳහන් කරති.

බුදු සමයෙහි දාර්ශනික සත්‍යයට අමතරව සමාජ පාරිශුද්ධතාව පිළිබඳව ද බොහෝ විට සාකච්ඡා වී තිබේ. ඒ හැම විටෙකම මෙකී යහ පාලනය නමැති අදහස ඉදිරිපත් වී ඇත. යහ පාලනයක්‌ හෙවත් යහපත් පාලනයක්‌ සඳහා අවශ්‍ය මූලධර්ම හඳුන්වා දීමට බුදුන් වහන්සේගේ අවධානය යොමුව තිබේ. අග්ගඤ්ඤ, චක්‌කවත්ති සිහනාද, කූටදත්ත, මහා පරිනිබ්බාන වැනි සුත්‍රවල මෙම යහ පාලනයට අදාළ තොරතුරු සඳහන්ව තිබේ.

බුදුන් වහන්සේගේ ප්‍රධාන ගිහි දායකයකු වූ කොසොල් රජු නිතර නිතර බුදුන් හමුවී ධර්මයට බාහිර වූ වෙනත් කරුණු පිළිබඳ සාකච්ඡා කර උපදෙස්‌ ලබාගත් බවද සඳහන් වේ. වෙනත් රජවරුද රාජ්‍ය පාලන ගැටලුවලදී බුදුන් වහන්සේගෙන් උපදෙස්‌ පැතූහ.

බුදුන් වහන්සේ විසින් වඡ්ජීන් අරභයා දේශනා කරන ලද අපරිහානීය ධර්ම ඉතා ප්‍රකටය. රාජ්‍ය පාලනයේදී බුදුන් වහන්සේගේ අනුශාසනාව වූයේ දසරාජ ධර්මයට අනුව රාජ්‍ය විචාල යුතු බවය. පාලනය යනු ජනතා අවශ්‍යතාව නිසාත් ඔවුන්ගේ සමාජ ආර්ථික කරුණු ඉටුකර ගැනීමේ අභිලාෂය නිසාත් ඇතිකර ගනු ලබන මානුෂික සංස්‌ථාවක්‌ බව බෞද්ධ අදහසය.

මිනිසුන් අතරින් මිනිසුන්ගේ කැමැත්ත පරිදි පත්වන අයට මහාසම්මත යන විශේෂණය ලබා දුන්නේ ද බුදු සමයයි. පාලකයා දෙවියන්ගේ නියෝජිතයකු බවට අන්‍යාගම් වලින් ගොඩනගන ලද සම්මතය මෙයින් බිඳවැටුණි.

මහජන නියෝජිතයා මහජනයාට වගකිවයුතු බවත් ජනතාව දුන් බලය නිසි පරිදි ක්‍රියාත්මක කරමින් සිය වගකීම් ඉටුකිරීම පාලකයාගේ මූලික ලක්‍ෂණය බවත් කියෑවිණි.

බෞද්ධ ඉගැන්වීම්වල සඳහන් පරමාදර්ශී පාලකයා ‘චක්‍රවර්ති’ හෙවත් සක්‌විති රජුය. මෙහිදී සක්‌විති රජකුගේ මූලික ලක්‌ෂණ කීපයක්‌ද පෙන්වා දී ඇත. රටේ අධර්ම ක්‍රියාවලට ඉඩ නොතැබීම, සාමය හා සහජීවනය තහවුරු කිරීම, නිර්ධනීන්ට ධනය ලබාදීම හා එයට සැලසුම් සැකසීම, ශ්‍රමණ බ්‍රාහ්මණාදීන් සමග සාකච්ඡා කර උපදෙස්‌ ලබා ගැනීම එහි ප්‍රධාන කරුණු ලෙස දැක්‌විය හැකිය. එසේම රටවැසියන්ට ආරක්‌ෂාව ලබාදීම ද ඉතා වැදගත් කරුණක්‌ ලෙස දැක්‌විණි.

මෙම රටවැසියා යන්නට සියලු ජනතාව හා ඔවුන්ගේ පවුල් සේනා හෙවත් ආරක්‍ෂක හමුදා මෙන්ම සිව්පාවුන්, පක්‌ෂීන් හා සියලු ප්‍රාණීන් ද ගහ කොළ ඇළ දොළ යනාදිය ද ඇතුළත් වේ. සත්ත්ව සමූහය යන යෙදුම බෞද්ධ සාහිත්‍යයෙහි එයි.

ජාතිය, ආගම, කුලය, ලිංගිකත්වය යනාදී කවර ප්‍රභේදයක්‌ හෝ නොසලකා සමානත්මතාව පැතිරීම ද යහපත් පාලනයක ලකුණක්‌ වේ.

මේ කරුණු අනුව අපට පෙනී යන්නේ බෞද්ධ ඉගැන්වීම් තුළ යහ පාලනය මැනවින් විශ්ලේෂණය කර තිබෙන බවය.

මිනිසා ජීවත් කරවීම, ගැටුම් මතු වීමට ඉඩ නොතැබීම, නිසි ආර්ථික සැලසුම් මගින් රට සංවර්ධනය කිරීම, අපරාධ, සාහසික ක්‍රියාවන්ට ඉඩ නොතැබීම, කවර ආකාරයක ඝාතනයක්‌ වුවද අනුමත නොකිරීම යනාදිය ද යහ පාලන අංග ලෙස දක්‌වා තිබේ.

සාමයික සහනශීලය, සදාචාරාත්මක ප්‍රතිපත්ති බලගැන්වීම මෙන්ම ආයුධ සන්නද්ධ අරගල නැවැත්වීම ද යහ පාලනයකදී සිදුවිය යුතුය.

අද අප ජීවත් වන සමාජය තුළ මෙයින් කීයක්‌ දැකගත හැකිද? පාලකයෝ මේවා ගැන සැලකිලිමත් වෙත්ද? යන්න සිතා බැලීම ඔබට බාර කරමු. අද මේ රටට ගැළපෙන ව්‍යවස්‌ථාවක්‌ පවා නැත. ප්‍රජාතන්ත්‍රවාදී වෙස්‌ ගැන්වූ වංක මූලධර්ම මගින් බලය සුරකින ව්‍යවස්‌ථාවක්‌ අපට තිබෙන බව දැන් කවුරුත් වටහා ගෙන සිටිති.

අද ඒ සියල්ල වෙනස්‌ කරමින් යහ පාලනයක්‌ ප්‍රතිෂ්ඨාපිත කිරීම සඳහා ක්‍රියාකරනු පෙනේ. එහි කිසි දොසක්‌ අපි නොදකිමු. එහෙත් අපට තිබෙන සංවේගය වන්නේ දෙදහස්‌ පන්සිය වසරක්‌ මුළුල්ලේම අප අතර තිබෙන ඒ යහ පාලන ධර්මතා පිළිබඳ අප කිසිවකුගේ අවධානය යොමු නොවීමය, ඒ උපදෙස්‌ අනුව යහ පාලනය ගොඩනඟා ගැනීමට උනන්දු නොවීමය. වර්තමාන පාලන ක්‍රම පහළ වීමටත් පෙර යහ පාලනය නමැති සංකල්පය බුදුන් වහන්සේ විසින්ම පෙන්වා දෙන ලද බව මෙයින් පැහැදිලි නොවේද?

– දිවයින

Sammy

Previous story Next story

Leave a comment

t

o

p