මුදල් ඇමැති රවීගෙන් ගෝඨාට අභියෝගයක්

February 13, 2015

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට හැකි නම් වත්කම් බැරකම් ප්‍රකාශයක් අද (13) උදේ වන විට ලබා දෙන්නැයි මුදල් ඇමැති රවී කරුණානායක මහතා අභියෝග කෙළේය.

දිනපතා පළවන එක්තරා ඉංග්‍රීසි පුවත්පතකට ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකින් තමාගේ නිවස  ඉදිකිරීම හා වත්කම් බැරකම් පිළිබඳ කරුණු දක්වා තිබීම පිළිබඳ කරුණු පැහැදිලි කිරීමට මුදල් ඇමැතිවරයා ඊයේ (12) දහවල් මුදල් අමාත්‍යාංශයේ දී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වනු ලැබීය. ඊට එක්වෙමින් ඇමැතිවරයා ඉහත අභියෝගය ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කෙළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් ඇමැතිවරයා, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සොහොයුරා මේ රටේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි. අද ඒ ආණ්ඩුව නැහැ. පරාජයට පත් වී විපක්ෂයට ගිය විට අඩුම තරමේ පම්පෝරි ගැසීම් නතර කර දෙන්න ඕනෑ, මේ අය විපක්ෂයේ ඉන්න විට සිටිය යුතු අයුරුවත් දන්නේ නැහැ. මම දැන් පදිංචිව සිටින නිවස ඉඩම පර්චස් 140 ක් විතර ඇති. ඒ ඉඩම ගත්තේ 1993. මම දේශපාලනයට ආවේ 1994 දී. මන්ත්‍රීව‍රයෙක් වුණේ 1994 අගෝස්තු 25 වැනිදා. මම එදා සිට අද දක්වාම ඉතාම නිවැරදිව වත්කම්, බැරකම් වාර්තා ලබා දුන් කෙනෙක්. මාගේ වත්කම්, බැරකම් ගැන තුන්පාරක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවට ලබාදීලා තිබෙනවා. මම මට අභියෝග කරන හිටපු ආරක්ෂක ලේකම්තුමාට කියන්නේ තමන්ගේ වත්කම්, බැරකම් ප්‍රකාශයක් ලබාදෙන ලෙසයි.

මහජන මුදල් නීති විරෝධීව කොල්ලකෑ සැමට එරෙහිව තරාතිරම නොබලා අපි නීති මඟින් කටයුතු කරනවා. මේ අය කළ දූෂණ, වංචා ගැන සත්‍ය තොරතුරු අනාවරණය කර ගනිමින් ඉන්නේ. ඒ තොරතුරු මත අපිට නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ සඳහා කෙටි කාලයක් උවමනායි. නමුත්! අපි ජනතා මුදල් මංකොල්ලකා නීතියෙන් ගැලවී සිටින්නට කිසිවකුට ඉඩ තබන්නේ නැහැ.

අමෙරිකන් පුරවැසිභාවය තිබෙන අය අද ජාති ආලය ගැන කතා කරනවා. අපේ වත්කම් ගැන අහනවා. අපි අමෙරිකාවේ සුපර් මාර්කට්වල සේවය කළ අය නොවෙයි. මම වරලත් ගණකාධිකාරිවරයෙක්.

“අපේ හිතවත් මිත්‍ර ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය ගැන නිසි පරීක්ෂණයක්වත් පවත්වා නැහැ. එපමණක් නොවෙයි, ප්‍රදීප් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන්වීම, ඉක්බාල් අතාස් මහතාට තර්ජනය කිරීම් ගැන කිසිම කතාවක් නැහැ. මේ අය ඒවාට වගකිව යුතුයි.

කොටියා, කොටියා කියල ලේබල් අලවනවා. කොටින්ගේ නායකයෙක් තමයි කේ. පී. කේ. පී. ගෙනල්ලා ඔහුගේ කෝටි ගණනක් වත්කම් ගත්තේ කවුද? කොටින්ගේ නැව් 23 ක් තිබ්බා. සල්ලි කන්දරාවක් තිබ්බා. ඒවා ගත්තේ කවුද? ‍ෙජනරල් සරත් ෆොන්සේකා මහතා කිව්වා උතුරේ ජනතාවගේ රත්‍රං කන්ටේනර් 4 ක් එයා ලබා දුන්නා කියලා. ඒ රත්‍රං කන්ටේනර්වලට මොකද වුණේ? ඇවන්ගාඩ් ආරක්ෂක සමාගමේ කටයුතු, ඒ හරහා මුදල් හම්බු කළ ආකාරය ගැන කියන්න. අවි ආයුධ 3000 ක් කිසිම නීතිමය තත්ත්වයක් නැතිව පාවිච්චි කළා. රක්ණා ලංකා ආරක්ෂක සේවාවේත් මුදල් ගසාකෑවා. ජනාධිපති අයියාගේ හිතවත්කම්, බලය පාවිච්චි කරලා රජයේ හා තවත් ආයතනවලට ආරක්ෂක සේවා කොන්ත්‍රාත් ලබා ගත්තා. වැඩි මුදලක් අරගෙන, සේවකයින්ට අඩු මුදලක් ගෙවා තිබෙනවා. මේවා කළ අය අද සුදනෝ වාගේ කතා කරනවා. තමන්ගේ පුතා ඉන්නේ අමෙරිකාවේ. එයාට ආරක්ෂාවට මෙහේ MSD අය යොදාගෙන තිබෙනවා. ඒ බව හිතවත් චම්පික රණවක ඇමැතිතුමා හෙළිදරව් කළා. මේවා විළී ලැජ්ජා නැති වැඩ. ආරක්ෂක මූලස්ථානය ඉදිකරන්න රුපියල් කෝටි 4000 ක් ඇස්තමේන්තු කරලා. කෝටි ගණනක් අතයට ගනුදෙනු.

තමන්ම මේ මුදල් වියදම් කරන්න අනුමැතිය ලබා දුන්නු බව ගෝඨාභය රාජපක්ෂ හිටපු ලේකම්තුමාම ප්‍රකාශ කර තිබෙනවා. මෙහෙම මුදල් භාවිතා කරන්න පුළුවන් ද? බැහැ! අපි කරන්නේ පිරිසිදු දේශපාලනයක්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා, අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා රටේ යහපාලනයක් ගොඩනඟන්න පියවර ගන්නවා. අපි ඊට උපරිමයෙන් උදව් කරනවා. අපි හොරු නොවෙයි, අපිට චෝදනා කරන අයට අපි උත්තර ලබා දෙනවා. අපි ඒ අය කළ හැම හොර ගනුදෙනුවක්ම හෙළිකර, ඒ අයට දඬුවම් නීතිය මඟින් ලබා දෙනවා. ඇමැතිවරයා කීය.

 

dinamina

Sammy

Previous story Next story

Leave a comment

t

o

p