ජනාධිපතිවරණය අවුරුදු හතරකට පස්සෙ හදිසියේ කැදවන්නේ පරාජය ගැන බයට

January 1, 2015

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම්  අද 01 අලුයම දිවයිනට පැමිණියේය. රාජගිරිය සිංහ සමාජ ශාලාවේ විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින්  ඔහු කියා සිටියේ  එකම කදවුර දෙකට බෙදිලා අපිට ඡන්දය දෙන්න කියලා ඉල්ලන බවයි.

ප්‍රතිපත්ති ප්‍රකාශන දෙකක් ඉදිරිපත් වී තිබෙනවා. අපි කියපු දේ ඇත්ත කියලා මේ දෙක දැක්කම ඔප්පු වෙනවා. 1994 දී අපි දේශපාලනය කරන කොට අපි කීවේ උනුත් එකයි – මුනුත් එකයි කියලා. 1994 දී අපිට කවුරුත් කීවේ නැහැ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය කරන්න කියලා. අපි ඒකට කඩා වැදුණා. එතකොට සෝවියට් කදවුර බිද වැටිලා 88-89 රෝහණ විජෙවීර සහෝදරයාව ඝාතනය කරලා තිබුණේ. අපි කථා කළා එතකොට වමක් ගැන. නමුත් ඒ ආරම්භ කරපු දේශපාලනයෙන් අවුරුදු විස්සකට පස්සේ නැවතත් අලුත් වමක් ගැන කථා කරන්න සිද්ධ වෙලා. මේ ජනාධිපතිවරණය අවුරුදු හතරකට පස්සෙ හදිසියේ කැදවන්නේ පරාජය ගැන බියක් සැකයක් තියෙන නිසා. පසුගිය අවුරුදු එකොළහ තුළම මේ පාලනය තුළ සිටි වාමාංශික යැයි කියාගන්නා කොටස් කදවුරු දෙකකට බෙදිලා ජනතාවට කියනවා මේ දෙකෙන් එකක් තෝරාගන්න කියලා. ඒ නිසා තමයි අපි වමේ විකල්පයක් ඉදිරිපත් කරලා තියෙන්නේ. මේක 1994 ව්‍යාපෘතියට නැවත පණ දීමක් කියලා කියන්න පුලුවන්. 1994 දී ආරම්භ කරපු ගමන අවුරුදු 20 කට පස්සෙ නැවත ආරම්භ කරන්න වෙච්ච තත්වයක් තියෙනවා. එහෙම තමයි මේ දේශපාලන මොහොත තේරුම් ගන්න ඕනෙ.

සමාජවාදය ගැන කියනවා නම් සමාජවාදය හා වම ගැන ලංකාවේ විශ්වාසය වෙනදාටත් වඩා දුර්වල වෙලා තියෙනවා. ඒක නිසා සමාජවාදය ගැන වඩාත් නිවැරදි අදහසක් ඉදිරිපත් කිරීමේ වගකීම තියෙන්නේ වමට. සමාජවාදය කියන්නේ නිවෙසක්, රැකියාවක් තිබීම පමණක් නෙමෙයි. ගෞරවය, සතුට, ආදරය ඇති සමාජයක් තමයි සමාජවාදය. එකම කදවුර දෙකට බෙදිලා අපිට ඡන්දය දෙන්න කියද්දී ඒක මේ වෙලාවෙ අමාරු කාර්යයක්. අධ්‍යාපනය, සෞඛ්‍යය, කෘෂිකර්මය, ජාතික ප්‍රශ්නය ආදී හැම දෙයක් ගැනම කදවුරු දෙකටම තියෙන්නේ එකම ප්‍රතිපත්තියක්. ඒකයි අපි වාම විකල්පයක් ඉදිරිපත් කරන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය මේ වනවිට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ඌනනය වෙලා. ශිෂ්‍යයන්ට, තරුණයන්ට, කම්කරුවන්ට ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙවද? වැඩකරන ජනතාවගේ සාතිශය බහුතරයකගේ ජීවිත දිහා බලන්න. ගෙවී ගිය වසර හැට හයේ ශේෂ පත්‍රය දෙස බැලුවම අපි කියන කථාව තේරෙනවා.

අපට කියනවා එකක් වෙනුවට වෙන එකක් තෝරාගන්න කියලා. අපි මේක කළා එක්සත් ජාතික පක්ෂයේ වසර 17 ක ශාපය අවසන් කරන්න 1994 දී. නැවත අවුරුදු 20 කදී ඒකම කරන්න කියලා කියනවා. එක කදක ගෙනියන බර තව කරකට මාරු කරද්දී ලැබෙන තාවකාලික සැපට වැඩි දෙයක් මේකෙ නැහැ. අපිට ස්වයං විවේචනයක් තියෙනවා. 1994 දී ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ඇතුලු වෙලා අපි කළේ බොහොම අමාරු කාර්යයක්. අද ජවිපෙට වෙලා තියෙන්නෙ මොකක්ද? අද ජවිපෙ සටන් පාඨය ජනවාරි 08 වැනි දා දූෂිත පවුල් පාලනය අවසන් කරමු කියන එක. 94 දී අපි නිවැරදිව සටන් පාඨය තේරුවා. අලියා පරදවමු, පුටුවට ඉඩ නොදෙමු, මල් බදුනට ඡන්දය දෙමු කියලා. එතකොට අපිට කීවේ එජාපයේ වලිගයක් කියලා. එදා ජනතා මිතුරෝ සංවිධානයේ හිටපු චම්පික රණවක චෝදනා කළා  88-89 සමයේදී  අපේ සහෝදරයින්ව ඝාතනය කළ එජාපයට සහය දෙනවා කියලා. මේ විවෘත ආර්ථිකයට මානුෂික මුහුනුවරක් දෙන්න බැහැ. ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රශ්නය හෝ ජාතික ප්‍රශ්නය විසදන්න බැහැ කියල අපි එතකොට කීවා. අවුරුදු විස්සකට පස්සේ අපිට නැවත එම චෝදනාවම නගනවා. අපිට කියන්නේ ප්‍රායෝගික වෙන්න කියලා. ඒකාධිපතීන් තමන්ගේ කැමැත්තට නිර්මාණය වෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ එක්තරා කාලයක මානව හිමිකම් ගැන කථා කළා. පාද යාත්‍රා ගියා. අද ඔහු කොහොමද? දාහත් වසරක ශාපය අවසන් කරන්න ආපු චන්ද්‍රිකා අන්තිමේදී මොකද කළේ? අපි මේ බොරු ව්‍යවස්ථා සංශෝධනය පිළිබද සටන් පාඨය හෙලිදරවු කරනවා. ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නම ජාතික ප්‍රශ්නය මග හැරලා. ඒ දෙන්නා විතරක් නෙමෙයි දෙමළ ජාතික සන්ධානයත් ජාතික ප්‍රශ්නය පාවා දීලා. ප්‍රජාතන්ත්‍රවාදය හා ජාතික ප්‍රශ්නය ඒ අයට ප්‍රශ්න දෙකක්. අපිට ඒක දෙකක් නෙමෙයි එකක්. සුලුතර තමිල් මුස්ලිම් ජනතාවට එරෙහිව පීඩාවක් තියෙනවා. ඒක තමයි ජාතික ප්‍රශ්නය. ඒක ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද ප්‍රශ්නයක්. අපි වගකීමෙන් කියනවා කවුරු බලයට ආවත් තත්වය හොද වෙන්නෙ නැහැ. නරක් වෙනවා විතරයි. මේ ගොල්ලන්ට තියෙන්නේ සාතිශය බහුතරයක් ජනතාවගේ ප්‍රශ්නය නෙමෙයි බලය පිළිබද ප්‍රශ්නයක්.

සමහර සිවිල් ක්‍රියාකාරීන් ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදය ගැන විශ්වාස කරනවා. ඔවුන් කියනවා මෛත්‍රී -රනිල් – චන්ද්‍රිකා – චම්පක – දෙමළ සන්ධාන – රවුෆ් හකීම් සන්ධානයට එකතු වෙන්න කියලා. මේක සුලියක්. සැඩ පහරක්. මේකට ඕනෙම එකක් එල්ලන්න පුලුවන්. ප්‍රජාතන්ත්‍රවාදය විතරක් නෙමෙයි වාමාංශික සටන් පාඨ උනත් භාර ගනී. හැබැයි එකක්වත් ඵල දරන්නේ නැහැ. ප්‍රතිපත්ති ප්‍රකාශන දෙක බැලුවාම ඒක තේරෙනවා. විධායක ජනාධිපති ක්‍රමය පිලිබද ප්‍රශ්නය ගැන දැන් කථා වෙන්නේ ඇල් මැරුන ස්වභාවයෙන්. අවම ප්‍රජාතන්ත්‍රවාදයක් වත් මේකෙන් බලාපොරොත්තු වෙන්න බැහැ.

45

Sammy

Previous story Next story

Leave a comment

t

o

p