ස්වාභාවික විපත් සිදු වූ සෑම විටකම ජන ජීවිතය රැක ගැනීමට රජය සමත්වීම විශාල ජයග‍්‍රහණයක් – ජනපති

December 26, 2014

ස්වාභාවික විපත් නිසා පසුගිය වසර කිහිපය තුළදී අප රට බොහෝ ආපදා අවස්ථාවන්ට මුහුණ දී තිබෙන බව පෙන්වාදෙන ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ සෑම අවස්ථාවකම දී ම ජන ජීවිතය අඩාලවීම අවම කර ගනිමින් කටයුතු කිරීමට රජය සමත්වීම විශාල ජයග‍්‍රහණයක් බව සඳහන් කරයි.

අදට යෙදී තිබෙන ජාතික සුරක්ෂිත දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කර ඇත.
ජනාධිපතිතුමා නිකුත් කළ සම්පූර්ණ පණිවුඩය මෙසේය

 

ජාතික සුරක්ෂිත දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කිරීමට ලැබීම පිළිබඳව මම ඉතා සතුටට පත් වෙමි.

 

ස්වාභාවික විපත් නිසා පසුගිය වසර කිහිපය තුළදී අප රට බොහෝ ආපදා අවස්ථාවන්ට මුහුණ දී තිබේ. ඒ සෑම අවස්ථාවකදී ම ජන ජීවිතය අඩාලවීම අවම කර ගනිමින් කටයුතු කිරීමට රජය සමත්වීම විශාල ජයග‍්‍රහණයකි.

 

සුනාමි ඛේදවාචකය සිදු වූ මොහොතේ ද එම ඛේදවාචකය සියැසින් දුටු, පුනරුත්ථාපන කටයුතු සඳහා මැදිහත් වූ දේශපාලන නායකයෙකු ලෙස සුනාමි ඛේදවාචකයේ බරපතළකම සහ ඵලවිපාක පිළිබඳව මෙන්ම පුනරුත්ථාපන සහ ප‍්‍රතිසංස්කරණ කටයුතුවල සංකීර්ණභාවයන් ද මම ඉතා හොඳින් දනිමි. අපගේ අරමුණ වූයේ සුනාමි ව්‍යසනයෙන් අහිමි වූ ජීවිත හැර අන් සියල්ල යළි ලබාදීමය. එම නිසා නව නිවාස ඉදිකර එම ජනතාව යළි පදිංචි කරවීමටත් යටිතල පහසුකම්, ජීවිකා වෘත්තීන් මෙන්ම දරුවන්ගේ, කාන්තාවන්ගේ සහ යෞවනයන්ගේ සුභසාධනය, ආර්ථිකය හා ජීවන තත්වය වැඩි දියුණු කිරීමටත් හැකිවීම ගත වූ දස වසර තුළදී අප ලද සුවිශේෂී ජයග‍්‍රහණයන් වේ.

 

ස්වාභාවික විපත් කළමනාකරණයේදී ක්ෂණික විසඳුම් සේම දීර්ඝකාලීන සැලසුම් සකස් කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුව තිබේ. රටේ සංවර්ධන වැඩපිළිවෙළ ආපදාවන්ට මුහුණ දීමේ සැලසුම් ද සහිතව කි‍්‍රයාත්මක කර ඇත්තේ ඒ නිසාය. ආපදා සහිත තත්ත්වයන්හිදී ඊට මුහුණ දීමට ජනතාව තුළ ඇති අවබෝධය ඉතා වැදගත් වෙයි. ආපදා පෙර දැනුම්දීම හා පසු සූදානම පිළිබඳව යාන්ත‍්‍රණයක් ඇතිකර ඒ කාර්යභාරය සාර්ථක කිරීමට ගත් පියවර අගය කළ යුත්තකි. ශී‍්‍ර ලංකාව තුළ සිදුවිය හැකි ස්වාභාවික උපද්‍රව අවම කිරීමේ නව කි‍්‍රයාවලියක් සඳහා මහින්ද චින්තන ඉදිරි දැක්ම පෙරදැරිව “ව්‍යසන කළමනාකරණය ජාතික සභාව” ගනු ලබන උත්සාහය ද ඉතාමත් ප‍්‍රශංසනීය ය.

 

අපේ රටේ සංවර්ධනය ඉලක්කගතව ඇත්තේ සැමටම සුරක්ෂිත ශී‍්‍ර ලංකාවක් ගොඩනැගීම උදෙසා ය. මෙවර ජාතික සුරක්ෂිත දින තේමාව ද ඊට සමගාමීව යොදා ගැනීම සතුටකි. “සුරක්ෂිත හෙටක්” යන තේමාව අර්ථ දැක්වීමට ජාතික සුරක්ෂිත දින සැමරුම ශක්තිමත් වනු ඇතැයි මම විශ්වාස කරමි.

 

“ජාතික සුරක්ෂිත දින” ජාතික උළෙල සර්වප‍්‍රකාරයෙන්ම සාර්ථක වේවා! යි ප‍්‍රාර්ථනා කරමි.”

 

මහින්ද රාජපක්ෂ

Sammy

Previous story Next story

Leave a comment

t

o

p