ව්‍යවස්ථාව හැදිය යුත්තේ ජනතාවගේ උවමනාවන්ට අනුවයි

December 4, 2014

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමේදී සැලකිල්ලට ගත යුත්තේ ජනතාවගේ අභිලාෂයන්ට අනුව මිස එක් එක් අයගේ පුද්ගලික දුක්ගැනවිලි වලට අනුව නොවන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. එම පක්ෂයේ මධ්‍යම කාරක සභික පුබුදු ජයගොඩ මේ බව පැවසුවේ දෙසැම්බර් 3 දින ගාල්ල ක්‍රීඩා මණ්ඩප ශ්‍රවනාගාරයේදී පැවති “වමේ පියවර” සම්මන්ත්‍රනයකදීය. රතන හිමි ව්‍යවස්ථා සංශෝදනයක් ඉල්ලන්නේ ඇමති ධුර සිතුසේ මාරු කිරීමට ජනාධිපතිවරයාට ඇති බලය අහෝසි කිරීමට බවත් මෛත්‍රී පාල සිරිසේන ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රශ්නය ලෙස සිතාගෙන සිටින්නේ ඇමතිවරුන්ට තීරණ ගැනීමට ඇති අයිතිය ජනාධිපතිවරයා අමාත්‍යංශ ලේකම්වරුන් හරහා උදුරා ගැනීම බවත් පැවසු ඔහු ජනතාවගේ ප්‍රශ්නය වෙන එකක් බවත් පැවසීය. අප ඇඳුමක් මසන්නේ අපේ සිරුරේ මිනුම් වලට නිසා ව්‍යවස්ථාව හැදිය යුත්තේ ජනතාවගේ අවශ්‍යතාවට සරිලන ලෙස බවද ඔහු වැඩිදුරටත් පැවසීය. වෙන අයගේ පුද්ගලික මිනුම් වලට අනුව මසන ව්‍යවස්ථා ඇඳුම අපි ඇඳීම විකාරයක් විය හැකි බවද ඔහු තවදුරටත් පැවසීය. එහිදී පහත අදහස්ද මතු විය.
” කිසි කෙනෙක් ප්‍රතිපත්ති ගැන කතා කරන්නේ නෑ. ජන මතයක් නිර්මාණය කරන්න උත්සාහ කරන්නෙත් නෑ. විවිධ කුමන්ත්‍රණ කරලා හෝ සල්ලි මිටි ගණන් විසි කරලා බලය ගැන සංඥා දෙන්න විතරයි බලන්නේ. මහින්ද හිතන්නේ කෝටි ගණන් වියදම් කරලා රට පුරා පෝස්ටර්,කටවුට් ගැහුවාම ජනමතය තමන්ට ඕන විදියට වාත්තු කරන්න පුළුවන් කියලා. අන්තර්ජාලයේ විහිළුවක් තිබුනා දැන් දුර මනින ඒකකය බවට කටවුට් පත්වෙලා කියලා. දුර කියන්නේ මහින්ද කටවුට් 10ක දුර ආදී වශයෙන්. මෛත්‍රී හිතාගෙන ඉන්නේ පනින ඔළුගෙඩි පෙන්වලා බලයක් පෙන්වන්න පුළුවන් කියලා. ඒ නිසා කිසිම ප්‍රතිපත්තිමය එකගතාවයක් නැතිව හැම කෙනෙක්ම එකතු කරලා කැඳ හැලියක් හදන්න යනවා. ඒක මහින්දගේ කැඳ හැලිය වගේමයි. එකිනෙකට ප්‍රතිවිරුද්ධ ප්‍රතිපත්ති තිබෙන අය බලය වෙනුවෙන් රංචු ගැහෙනවා. දැන් ප්‍රතිපත්ති ගැන කතාවක් නෑ . බලය පෙන්වලා දිනන්න බලන්නේ. මේ අය ජනතාව ගැන හිතන්නේ තමන්ට ඕන විදියට අඹන්න පුළුවන් මැටි ගුලි කියලා. දැන් ජනතාව ඉන්නේ නරඹන්නාගේ භුමිකාවේ. දර්ශන තලයේ ඉන්නේ මාධ්‍ය හිමිකරුවෝ, ජාවාරම්කාර ව්‍යාපාරිකයෝ, පාතාල මැරයෝ, රාජතාන්ත්‍රික කුමන්ත්‍රනකරුවෝ,විදෙස් ඔත්තුකරුවෝ මිස ජනතාව නෙවෙයි. ජනතාවත් ප්‍රතිපත්ති ගැන නොසිතා ජයග්‍රහණයේ කොටස්කරුවන් වෙන්න හිතාගෙන දිනන පැත්තට, බලය පෙන්වන පැත්තට චන්දය දුන්නොත් අත් වන්නේ පරාජයන් විතරයි. දැන් ජනතාව හිතන්න ඕන මේ නින්දාවෙන් ගැලවෙන විදියක්. ඒකට අපි සල්ලි වලින්, බලය පෙන්වලා අපිව හසුරුවන්න බෑ කියලා ඔප්පු කරන්න ඕන.
අපි පෙනී ඉන්නේ හුදු මුණු මාරුවක් වෙනුවෙන් නෙවෙයි, සමස්ත ක්‍රමයේම වෙනසක් වෙනුවෙන්. ක්‍රමය කියන්නේ සමහරු හිතාගෙන ඉන්න විදියට විධායක ජනාධිපති ක්‍රමය නෙවෙයි. නව ලිබරල් ධනවාදී ක්‍රමය. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කල හැක්කේත් කවුරුත් මගහැර යන ප්‍රශ්නය වන පහල පාන්තික ජනතාවගේ ජීවත්වීමේ ප්‍රශ්නය, ආර්ථික ප්‍රශ්නය විසඳිය හැක්කේත් නවලිබරල් ධනවාදය අහෝසිකර සමාජවාදය ගොඩනැගීමෙන් පමණයි. වමේ පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ මේ අර්බුධයට තිබෙන්නේ වාම විකල්පයක් පමණයි යන මතය සමාජගත කරන්න.යකාව තියාගෙන යකාගේ දත් ගලවන්න හෝ මුණ පාට කරන්න අපි එන්නේ නෑ. අපේ අරමුණ යකා පලවා හැරීම. ඒක මැතිවරණයකට ඉදිරිපත් වීමෙන් පමණක් කරන්න බෑ. නමුත් මේක පළමු පියවර පමණයි. අද තබන පියවර කුඩා පියවරක් පමණක් වුවත් මෙය ලංකාවේ දේශපාලන ඉතිහාසයේ දැවැන්ත පිම්මක ආරම්භය වෙයි.”
alt     alt
alt     alt

Sammy

Previous story Next story

Leave a comment

t

o

p