විදෙස්ගත ශ්‍රමිකයන් නැවත ගෙන්වා ගැනීමට ගුවන් යානා පහසුකම් සැපයීමට කම්කරු අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පූර්ණ සහයෝගය

August 5, 2021

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් නැවත ශ්‍රී ලංකාවට රැගෙන ඒමේ ක්‍රියාවලියේ දී ගුවන් යානා පහසුකම් සැපයීමට අදාළව කම්කරු අමාත්‍යංශය හෝ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ත කාර්යාංශය මැදිහත් වී නොමැති නමුත් සෑමවිටම කිසිදු බාධාවකින් තොරව  සිය රටට පැමිණීමට ඔවුන්ට ඉඩ ලබා දී ඇතැයි අද පාර්ලිමේන්තුවේදී කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්  සඳහා ගුවන් සේවා සපයනු ලබන ආයතන වෙත නියමිත  සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශයන් ට අනුව පමණක් මෙරටට පිවිසීම සඳහා අවස්ථාව ලබා දෙන  බව අමාත්‍යවරයා  ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර් මහතා යොමු කළ වාචික ප්‍රශ්නයක් සඳහා පිළිතුරු ලබා දෙමිනි.

ශ්‍රී ලංකාවේ රෝහල් හා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ධාරිතාව ඉක්මවා යන පරිදි කොවිඩ් රෝගීන් රට තුළ වාර්තා වන වාතාවරණයක්  මධ්‍යයේ  වුවද අදාළ නිරෝධායන මධ්‍යස්ථාන ඉඩකඩ සීමා වීම මත සෞඛ්‍ය අංශයන්හි අවස්ථානෝචිත උපදෙස් පරිදි සීමාවන් පැනවීමට සිදු වූ නමුත් විදෙස්ගත ශ්‍රමිකයන් නැවත ගෙන්වා ගැනීමේ ක්‍රමවේදයේ දී ගුවන් සේවා පහසුකම් ලබා ගැනීමට කම්කරු අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අදාළ ආයතන සමඟ සම්බන්ධව අවශ්‍ය සහයෝගය සෑම අවස්ථාවකදීම ලබා දී ඇති බවත් ඉදිරියේදී ද එසේම සහාය ලබා දෙන බවත්  අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේය.

තව දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ ගුවන් ටිකට් සඳහා අසාධාරණ ගාස්තු අය කිරීමක් පිළිබඳ වාර්තා වී නොමැති බවයි. නමුත්  එක්  එක් රටවල් අනුගමනය කරන සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව විදේශ ගමන් අත්හිටුවීම සහ තහනම් කිරීම , ගුවන් යානාවල ගෙන යා හැකි මගීන් ප්‍රමාණය සම්බන්ධයෙන් සීමාවන් පනවා තිබීම හා ගුවන් සේවාවන්හි සේවය කරන කාර්ය මණ්ඩල අනිවාර්යෙන්ම නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරීමේ ක්‍රියාවලිය මෙන්ම කාර්ය මණ්ඩලය දීර්ඝ කාලයක් අතරමැද විදේශ නැවතුම් පොළවල රඳවා තැබීමට අතිරේක වැය බරක් දැරීමට සිදුවීම යනාදී හේතු මත ගුවන් සේවා වලට ඉහළ මිලක් අය කර ගැනීමට සිදු වූ බව ද ප්‍රකාශ කළේය.

එසේ වුවද ශ්‍රී ලංකා රජය ශ්‍රී ලංකා ගුවන් සේවය හා එක් ව පවත්නා අභියෝග හමුවේ විදේශගත ලාංකිකයන්ට සහනදායි මිලකට ටිකට් ලබා ගැනීමට සෑම පියවරක්ම ගෙන ඇති බවද  කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සභාව හමුවේ කියා සිටියේය.

කොවිඩ් 19 වසංගතය පැවති මුල් අවධියේ මෙරටට පැමිණි විදෙස් ගත ශ්‍රමිකයන් සඳහා අවශ්‍ය පහසුකම් කොවිඩ් නිවාරණ කාර්ය සාධන බලකාය විසින් සලසා දුන් බවත් කොවිඩ් වසංගත‍යේ දෙවන රැල්ල  පැතිර යාමත් සමග මූලික නිරෝධායන මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන ගිය රජයේ ගොඩනැගිලි, විශ්වවිද්‍යාල නැවත භාර දීම හේතුවෙන් ඇති වූ හිඩැස පිරවීම සඳහා කාමර සීයයට වැඩි හෝටල් මුදල් ගෙවීමේ පදනම මත  නිරෝධායන මධ්‍යස්ථාන බවට පරිවර්තනය කළ බවත් අමාත්‍යවරයා  ප්‍රකාශ ක‍ෙ‍ෙළ්ය.

එමෙන්ම  ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ව ,අසරණ ව සිටින   ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන් ගෙන්වා ඔවුන්ට නොමිලේ නිරෝධායන පහසුකම් සපයා දීමේ ක්‍රමවේදයක් ද මේ වන විට ආරම්භ කර ඇති බවද  පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර් මහතාට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

t

o

p