කොරෝනා මැඩීමට රජය දැනට වැය කර ඇති මුදල රුපියල් බිලියන දෙසිය පනහකට වැඩි යි- මුදල් රාජ්‍ය අමාත්‍ය

August 5, 2021

පවතින කොරෝනා වසංගත තත්ත්වය සපුරා මැඩ පැවැත්වීම සඳහා එන්නත්කරණ වැඩපිළිවෙළ ඇතුළු සෙසු කටයුතු සඳහා මුදල් අමාත්‍යංශය විසින් මෙතෙක් වැය කොට ඇති මුදල  රුපියල් බිලියන දෙසිය පනහකට වැඩි බව අද පාර්ලිමේන්තුවේ දී මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කළේය .

ජනතාවගේ රජයක් වන වත්මන් රජය කිසිදු පැකිළීමකින් තොරව ජනතාවගේ ජීවිත සුරක්ෂාව සඳහා  මෙසේ මුදල් වැය කරන බවද මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කළේය. ඒ මහතා මේ බව සඳහන් කළේ  කොරෝනා වෛරසය මැඩ  පැවැත්වීම සඳහා  සියලු දෙනා  ඉක්මනින්  එන්නත්කරණය ට යොමුකරවන රජයේ වැඩ පිළිවෙල  අගය කරමින් ඒ පිළිබඳව විමසීමක් සිදු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතාට පිළිතුරක් ලබා දෙමිනි .

එසේම ,2015-2019 දක්වා කාල‍ය ඇතුළත ශ්‍රී ලංකාවට වෛද්‍ය තාක්ෂණික උපකරණ ආනයනය කිරීමට වැය වූ මුළු මුදල සම්බන්ධව විමසූ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතාට පිළිතුරක් දෙමින්  රාජ්‍ය අමාත්‍යවරයා  පවසා සිටියේ  එය රුපියල් බිලියන  112ක් පමණ වන බවයි .

පසුගිය කාල සීමාවෙහි   ගෙන්වන ලද  මෙම වෛද්‍ය උපකරණ අක්‍රිය වීම සහ ඒ සම්බන්ධව සිදුවූ වංචා දූෂණ පිළිබඳව පළවූ වාර්තා සම්බන්ධව  නීතිමය පියවරක්  ගැනීම  සිදුවන්නේ ද යන්න  මුසම්මිල් මහතා විසින් මෙහිදී විමසූ අතර රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ යම් දූෂණයක් සිදුව තිබේ නම් ඒ හා සම්බන්ධව අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කිරීමට සිය රජය  බලාපොරොත්තුවෙන් සිටින බවද විශේෂයෙන් අවධාරණය කර සිටියේය.

t

o

p