2015 අයවැය වැඩි ඡන්ද 95කින් සම්මතයි

November 24, 2014

2015 විසර්ජන පනත් කෙටුම්පත තෙවැනිවර කියැවීමේ ඡන්ද විමසීමෙන් ආණ්ඩු පක්ෂය වැඩි ඡන්ද 95කින් ජයග්‍රහණය කළේ ය.

කාරක සභා අවස්ථාවේ විවාදය අවසන් වීමෙන් අනතුරුව 2015 විසර්ජන පනත් කෙටුම්පත සංශෝධිත ආකාරයෙන් සලකා බලා සම්මත කරන බව කතානායක චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. එම අවස්ථාවේ සභානායක අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා තුන්වැනිවර කියැවීම සඳහා ඉදිරිපත් කරන බව පැවසීය.

 

එහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා ඡන්ද විමසීමක් කරන ලෙස ඉල්ලා සිටියේ ය.

 

ඡන්දය විමසීම නම් අඬගසා සිදු කරන ලෙස සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉල්ලා සිටි බැවින් නම් අඬගසා ඡන්ද විමසීම සිදු කරන ලදී.

 

ඒ අනුව ඡන්දය විමසන ලද අතර ඡන්ද විමසීමෙන් පසු ව විසර්ජන පනත් කෙටුම්පතට පක්ෂ ව ඡන්ද 152ක් ද විරුද්ධ ව ඡන්ද 57ක් ද ලැබී තිබුණි.
2015 විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) තුන්වැනිවර කියවා සියලු වැය ශීර්ෂ සශෝධන සහිතව සම්මත කරන ලද බව කතානායකවරයා නිවේදනය කරන ලදී.

 

එජාප, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානයේ හා දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරුන් අය-වැයට විරුද්ධ ව ඡන්දය භාවිත කළ අතර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ද මෛත්‍රීපාල සිරිසේන, දුමින්ද දිසානායක, පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන, වසන්ත සේනානායක, රජීව විජේසිංහ, කරූ ජයසූරිය, ලක්ෂ්මන් කිරිඇල්ල, අර්ජුන රණතුංග, ටිරාන් අලස්, අබ්දුල් හලීම්, පී. රාජදොරෙයි හා ජේ. ශ්‍රී රංගා මන්ත්‍රීවරු ද සභාවට පැමිණ නොසිටියහ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p