ජනපති නියමයෙන් රක්ෂිත වනාන්තර අක්කර දෙක හමාරේ කුට්ටි කර ජනතාවට බෙදා දෙන කතාව ඇත්තක් ද?

January 28, 2021

රජයේ වන රක්ෂිත සහ වන ජීවී රක්ෂිත තුළ ගොවිතැන් කරන ගොවීන්ට ඒ සඳහා ඉඩ
ලබා දෙන ලෙස වන සංරක්ෂණ සහ වන ජීවී සංරක්ෂණ නිලධාරීන්ට කියා එම රක්ෂිත
තුළට ගොස් ඒවා වෙන් කරන මායිම් ගල් ගැන නොතකා කලින් සිදු කළ ගොවි තැන්
එලෙසම සිදු කර ගන්නා ලෙසට “ගම සමඟ පිළිසඳර” වැඩ සටහන් වල දී  ජනාධිපති
ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රසිද්ධියේම කරන ලද ප්‍රකාශ මෙරට වනාන්තර
අක්කර ලක්ෂ හතක් විදේශීය සමාගම් වලට පැවරීමේ මූලික අදියරක් බවට වන
සංරක්ෂණ සහ වන ජීවී සංරක්ෂණ නිලධාරීහු අනුමාන කරති.

ඔවුන්ගේ මෙම අනුමානයට හේතු වී ඇත්තේ මොනරාගල, අම්පාර ඇතුළු තවත් දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය දේශපාලනඥයන් එම ප්‍රදේශ වල ජනතාවට වන සංරක්ෂිත සහ වන ජීවී
රක්ෂිත තුළට පිවිස ඒවා තම් පාරම්පරික වගා බිම් ලෙස හුවා දැක්වීම සඳහා එම
වනාන්තර එළි හෙහෙළි කරන ලෙස ගම්වාසීන්ට උපදෙස් දීමත් සමඟය. එහි දී ඔවුන්
ගැමියන්ට කියා ඇත්තේ එසේ ගිනි තබන ලද වනය පැරණි වගා බිමක් සේ ඒත්තු
ගැන්වීම තුළින්  මතු පැවැත්වෙන ඉඩම් කච්චේරි වල දී එම වන බිම් වලින්
අක්කර දෙක හමාර බැගින් නීත්‍යානුකූලවම ඔවුන්ට  අත්පත් කර ගත හැකි
බවකි.

එලෙස ගැමියන් විසින් වගා කරන ලද වන රක්ෂිතයන් තුළ ඇති බිම් කොටස් එම
ගැමියන්ටම සින්නක්කරයටම ලියා දෙන ලෙස ළඟදීම ජනාධිපති වරයා නියෝග කරනු
ඇතැයි ද එම දේශපාලනඥයන් ගැමියන්ට කියා තිබේ. මෙහි දී එම ගැමියන් එලෙස
වනාන්තර වලින් කොටස් ගිනි තබා එළි පෙහෙළි කරන අතරේ ප්‍රදේශයේ ජාවාරම්
කරුවන් සහ දේශපාලනඥයන් බැකෝ යන්ත්‍ර මාර්ගයෙන් මහා පරිමාණ වන විනාශයන්
කොට ඒවා පාරම්පරික ගොවි බිම් ලෙස හැඳින්වීමට කටයුතු යොදතැයි එම නිලධාරීහු
වැඩි දුරටත් කියති. “ජනාධිපති තුමා අපේ රාජකාරී කටයුතු කඩා කප්පල් වෙන මේ
වගේ කතා ප්‍රසිද්ධියෙම කිව්වේ ජනතාව සතුටු කරන්න කියලයි අපි මුලින්ම
හිතුවේ දැන් අපිට හොඳින්ම තේරෙනවා මේක නිලධාරීන්ගේ මානසිකත්වය වට්ටන්න
හිතා මතාම කරන දෙයක් කියලා. අනික ඔය වගේ කතා වලින් සමාජගත වෙන වැරදි
පණිවිඩය අපේ රටේ පාරිසරික යහ පැවැත්මට අතිශය හානි කරයි. ඒ කාරණේ මුල් කර
ගෙන වන නිලධාරීන් හැටියට අපි ඉදිරියේ දී වෘත්තීය ක්‍රියා මාර්ගයකට
එළඹෙන්නත් අදහස් කරගෙන ඉන්නවා” මෙහි දී මාධ්‍යට අදහස් දැක් වූ  වන
නිලධාරියෙක් කීය.


1998 සිට කරන ලද අධ්‍යයනයන් මඟින් පවා තහවුරු වූ ශීඝ්‍ර ප්‍රවර්ධනයකට ලක්
වෙමින් තිබූ වන සංහාරයට පිළියමක් වශයෙන් 2001.08.10 දින වන සම්පත් හා
පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කරන ලද  චක‍්‍රලේඛය 5/2001 ලෙස හැඳින්වෙන අතර  ඒ වන විටත් විනාශ කෙරෙමින් පැවති වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හෝ වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය නොකරන නමුත් වනාන්තර ලෙස හඳුනාගත් වනාන්තර පද්ධතීන්.ආරක්ෂා කරගැනීම එහි ඉලක්කය විය.එම වනාන්තර ඒ වන විට
පාලනය වූයේ දිස්ත‍්‍රික්/ප‍්‍රාදේශීය ලේකම්වරුන් මගිනි. මේ 5/2001
චක‍්‍රලේඛය නිකුත් කෙරුණේ ඒ වන විට  බලාත්මකව තිබූ 5/98 දරණ
චක‍්‍රලේඛය අහෝසි කරමිනි. නමුදු මෙරට පාරිසරික යහපැවැත්ම උදෙසා මෑත භාගයේ
සිදු කරන ලද ලොකුම පාරිසරික ‘ශාන්ති කර්මය’ වශයෙන් පරිසර ලෝලීන් විසින්
හඳුන්වනු ලැබූ මෙම චක්‍ර ලේඛය වත්මන් රජය මඟින් අහෝසි කරන ලදී.

ඉන්පසුව රජයට අයත් අවශේෂ කැලෑ පරිපාලනය පිළිබඳ 2020 ජුලි 01 වෙනි දින කැබිනට්
මණ්ඩලය දී ඇති මග පෙන්වීම් අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කළමනාකරණය කරන
සංරක්ෂිත වනාන්තර, රක්ෂිත වනාන්තර, යෝජිත රක්ෂිත වනාන්තර හා වනජීවී
සංරක්ෂණ දෙපාර්තමේන්තුව කළමනාකරණය කරන ජාතික රක්ෂිත භූමි, අභය භූමි, වන
අලි කළමනාකරණ රක්ෂිත හා නීතියකින් රෙගුලසියකින් හෝ වෙනත් මොනයම් වූ හෝ
ව්‍යවස්ථාපිත කරුණකින් පරිසරය පිළිබඳ කරන රජයේ දෙපාර්තමේන්තුවකට,
ආයතනයකට, අමාත්‍යංශයකට අයත් නොවන අවශේෂ කැලෑවල අයිතිය තවදුරටත් රජය සතු වන අතර පරිසරයට වනජීවී සම්පත්වලට හා කැලෑවලට හානියක් නොවන පරිදි
ආර්ථිකමය හා වෙනත් ඵලදායි කටයුතු සඳහා භාවිත කිරීමට දිස්ත්‍රීක්
ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට බලය පැවරෙන මෙම ලේඛනය මඟින්
  5/2001 චක‍්‍රලේඛය අහෝසි විය. වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම්
එම් කේ හරිශ්චන්ද්‍ර විසින් එම ලිපිය නිකුත් කරන ලද්දේ 2020 නොවැම්බර් 04
වෙනිදාය.


එහෙත්, එමඟින් ද මෙරට වන ගහනයට කිනම් හෝ ආරක්ෂාවක් තහවුරු වූ අතර “මෙම ගම
පිළිසඳර” නම් වැඩ සටහන් මඟින් ජනාධිපති වරයා කරනු ලබන භූමිකාව මඟින්  ඉහත සඳහන් නීතිමය තත්වයන් ද සුණු විසුණු කොට ඇතැයි වන නිලධාරීහු කියති.
“රක්ෂිත වන කලාප ආශ්‍රිත ගොවිතැන් කටයුතු සිදු වෙන භූමි ප්‍රදේශ සම්බන්ධ
කිසිම විද්‍යාත්මක වාර්තාවක් නැහැ. ඒ හින්දා තවමත් රක්ෂිත වන කලාප ආශ්‍රිත
භූමිය අත්පත් කර ගන්න කාටත් පුළුවන් අතීතයේ මානව ක්‍රියාකාරකම් සිදු වුණු
වන කලාප පස්සේ වන රක්ෂිත විදිහට ගැසට් කරලා තියනවා. නමුත් ඒවගේ ප්‍රදේශවල
වුණත් පරිසර කළමණාකරණ සැලසුම් අනුව කටයුතු කරනවා මිසක් කැලේ කපලා විනාශ
කරන්නේ නැහැ. නමුත් මේ වගේ සංවේදී පාරිසරික ප්‍රශ්න ගැන හිටපු ජනාධිපති තුමාට තියන
අවබෝධය දැන් ජනාධිපති තුමන්ට නැති එක ජාතියේ අවාසනාවක්” එම වන නිලධාරියා
වැඩිදුරටත් කීය.


මෙහි දී  අදහස් පළ කළ ඌව පලාතේ ප්‍රාදේශීය ලේකම් වරියක කියා සිටියේ
මෙම අලුත් වන සංහාරක රැල්ල මුල් කොට තම රාජකාරී කටයුතු ද නිසි පරිදි කර
ගත නොහැකි බව ය. “දැන් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම් වලදී වුණත්
නිලධාරීන්ගේ බලය පුදුම විදිහට අඩුවේගන යනවා. පරිසර විනාශ වලට මුල්
වෙන දේශපාලනඥයෝ සංවිධානාත්මකව නිලධාරීන්ගේ රාජකාරීමය පෞරුෂය වගේම ආත්ම
ගෞරවයත් යටපත් කරගෙන ඉස්මතු වෙනවා. දැන් අපේ සමහර ග්‍රාම නිලධාරී
මහත්වරුන්ව නෝනලව ඒ මිනිස්සු බලහත්කාරෙන් යටපත් කරගෙන. දැන් ඒ අය ඉස්සර
වගේ ගම්වල සැබෑ තොරතුරු අපිට දෙන්නේ නැහැ. ඒ අතරේ එක ලාබ ප්‍රයෝජන වලට ඒ
මිනිස්සුන්ට ගැති කම් කරන නිලධාරී පිරිසකුත් ඉන්න හින්දා දැන් අපිට මේවා
දමලා ගහලා යන්න වෙලා තියෙන්නේ. අනික වන නිලධාරීන්ට අවනීතිය රජ කරන කම් ඇස්
කන් පියාගෙන ඉන්න කියන රාජ්‍ය නායකයෙක් ගැන මම නම් ඔය ඇහුවමයි. රටේ
මිනිස්සුන්ට දහසකුත් එකක් ප්‍රශ්න තියන බව ඇත්ත. ඒත් දැන් මේ කරන්නේ ඒ
ප්‍රශ්න විසඳන එක ද නැත්නම් ඒ ප්‍රශ්න විකුණලා වෙන වෙන න්‍යාය පත්‍ර
ක්‍රියාත්මක කරන එක ද කියන එක අපිට නම් හොඳටම තේරෙනවා. ගොවි
ජනතාවගේ වගා බිම් ප්‍රශ්න විසඳන විධිමත් නිශ්චිත ක්‍රමවේද තියනවා. ඒත්,
කවි මඩුවලට ගිහින් හිටිවන කවි කියනවා වගේ ඔහොම ප්‍රශ්න විසඳන්න පුළුවන්
නම් මේ රටට රාජ්‍ය සේවයක් සිවිල් පරිපාලනයක් ඕනේ නැහැනේ’ ඇය වැඩි දුරටත්
කීවාය.


2001/05 චක්‍ර ලේඛය අවලංගු කර දිසාපති වරුන් ,ප්‍රාදේශීය ලේකම් වරුන්
යටතට පත් කර ගත් වනාන්තර අක්කර ලක්ෂ හත  මතු දිනවල මහා පරිමාණ පරිසර දූෂණ
ව්‍යපෘතීන් සඳහා විදේශ කොම්පැනි වලට විකිණීමේ පිඹුරුපත් මේ වන විටත්
සැකසී හමාරය. එමෙන්ම ඒවාට අයත් නොවන වන රක්ෂිත ඉඩම් ද අසරණ ජනතාවට අක්කර
දෙක හමාර බැගින් හිමි කර දෙන බව පවසමින් ඒවා මුඩු ඉඩම් බවට පත් කොට පසුව ඒවා ද
විදේශයන්ට විකිණීමේ වෑයමක් තිබේ. මෙම ව්‍යාපෘතියේ පෙර ගමන් කරු ද ජනාධිපති
වරයාමද යන් සැකයක් ඇතැමුන් තුළ පහළ වී තිබේ.


දමයන්ති ගමගේ.

t

o

p