තේරීම් කාරක සභාව පත් කිරීමට නාම යෝජනා කැදවීමට තීරණය කෙරේ

January 15, 2020

අට වැනි පාර්ලිමේනතුවේ සිව්වැනි සැසිවාරයට අදාළ “තේරිම් කාරක සභාව’’ පත්කිරීම සදහා  නාම යෝජනා කැදවීමට  අද රැස්වු  පාර්ලිමේන්තුවේ පක්ෂ නායක හා දේශපාලන පක්ෂ නියෝජිත  රැස්වීමේදී තීරණය විය. මේ අනුව පක්ෂ විපක්ෂ නියෝජිතයන්ට අදාළ නාම යෝජනා ලබන බ්‍රහස්පතින්දා (16) ප.ව 3.00ට පෙර පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයට ලබා දෙන ලෙස කථානායකවරයා දැනුම් දී තිබේ. ඊට අදාළ යෝජනාව ලබන 21 වැනිදා පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට ද නියමිතය.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග  114 අනුව සෑම සභා වාරයක් ආරම්භයේදී ම ‘’තේරීම් කාරක සභාවක්’’ යනුවෙන් හැදින්වෙන කාරක සභාවක් පත් කළ යුතු අතර එමගින් අනෙකුත් කාරක සභාවල සේවය සදහා මන්ත්‍රීවරුන් නම් කිරීම ඇතුළු අදාල අනෙකුත් කටයුතු තීරණය කිරීම සිදුවේ. .මෙම තේරීම් කාරක සභාව කථානායකවරයාගේ සභාපතිත්වයෙන් සහ දේශපාලන පක්ෂවල නායකයන් හෝ ඔවුන්ගේ නියෝජිතයන් ඇතුළත්ව පාර්ලිමේන්තුව විසින් එක් එක් සභා වාරය ආරම්භයේදී නම් කළ යුතු සාමාජික මන්ත්‍රීවරයන් දොළොස් දෙනෙකුගෙන් සමන්විතව පත් කරනු ලැබේ.

තවද ජනවාරී 21,22, යන  දිනයන්හිදී ප.ව 1.00 සිට 6.30 දක්වා ද 23,24 යන දිනයන්හි පෙ.ව 10.30 සිට ප.ව 6.30 දක්වා ද පාර්ලිමේන්තුව  රැස්වීමට මෙහිදී තීරණය විය.මේඅනුව 21 වැනිදා ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ නියෝග 9ක් ද 22 වැනිදා ඉදිකිරීම් කර්මාන්ත හා සංවර්ධන පනත යටතේ නියෝග 03ක් ද ,23 වැනිදා වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ නියෝග 04ක් ද විවාදයට ගැනීමට නියමිත අතර 24 වැනිදා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රංජිත් සොයිසා මහතා වෙනුවෙන් ශෝකය පලකිරීමේ යෝජනාව ඉදිරිපත් කිරීම ට නියමිතයි.

ගරු කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමට සභානායක අමාත්‍ය  දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස,පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී පෙරේරා , පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල සහ පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක යන මහත්වරු එක්වූහ.

t

o

p