උපාය මාර්ගික හා සංචාරක නගරයක් ලෙස ගාල්ල සංවර්ධනයට පියවර

May 22, 2017

මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ලෝක බැංකු ණය ආධාර සහ රජයේ දායකත්වය සමග කි‍්‍රයාත්මක උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය මගින් නියමු ව්‍යාපෘති ලෙස මහනුවර සහ ගාල්ල මහා නගර තෝරාගෙන තිබේ. එහි සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 25,370 ක් ආයෝජනය කිරීමට සැලසුම් කර ඇත. මෙහි පළමු අදියරේ කටයුතු 2019 වර්ෂයේදී නිම කිරීමට නියමිතය.

ගාල්ල නගර සංවර්ධනය සඳහා සිදු කරන මුළු ආයෝජනය රුපියල් මිලියන 6,235 කි. එහිදී කැළි කසළ ප‍්‍රශ්නයට, ගංවතුර පාලනයට, විධිමත් නාගරිකරණයට සහ නාගරික ප‍්‍රවාහන සැලසුමට ප‍්‍රමුඛ අවධානය ලබාදෙන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. එමෙන්ම ගාල්ල මහනගර සභා බල ප‍්‍රදේශය තුළ පොදු පහසුකම් නංවමින් නාගරික ජන ජීවිතයට පහසුවක් සැලසීම ද මෙමගින් අපේක්‍ෂා කෙරේ.

යෝජිත සංවර්ධන සැළසුම් ව්‍යාපෘති යටතේ, ගංවතුර උවදුර අවම කිරීම පිණිස මොරගොඩ ඇළ සංවර්ධනය, මොරගොඩ ඇළ හරහා ඇති පාලම් නවීකරණය සහ නව පාලම් ඉදිකිරීම, කැපූ ඇළ, මෝඩ ඇළ හා ඊට අයත් අතුරු ඇළ හා කාණු පද්ධති ප‍්‍රතිසංස්කරණය කිරීම, ජල රඳවන කලාප 10 ක් සංරක්‍ෂණය කිරීම, දංගෙදර/මලිගස්පේ ආශ‍්‍රිතව පිටාර ඇළක් සකස් කිරීම, පෙට්ටිගල වත්ත හා කඳුවැල්ල ප‍්‍රදේශයෙන් මුහුදට ජලය බැහැර කිරීමට නව ඇළ මාර්ග අලූතින් ඉදිකිරීම, ගංගාරාම විකල්ප ඇළ මාර්ගයක් ඉදිකිරීම හා පරිසර සංරක්‍ෂණය කෙරෙහි සිවිල් ප‍්‍රජාව බලගැන්වීම ප‍්‍රමුඛ වේ. පොදු නාගරික පහසුකම් වැඩිදියුණු කිරීම අරමුණු කර ගනිමින් ගාලූ කොටු පවුර සහ ඒ ආශ‍්‍රිත විශේෂ ස්ථාන සංවර්ධනය  කිරීම, නගර මධ්‍යය හා වෙරළ ආශ‍්‍රිත විනෝද හා විවේක පහසුකම් සංවර්ධනය කිරීම, ධර්මපාල උද්‍යානයේ පහසුකම් වැඩිදියුණු කිරීම, ඓතිහාසික වැදගත්කමක් ඇති ස්ථාන සංවර්ධනය කිරීම සහ පොදු විවෘත ස්ථාන සංවර්ධනය කිරීම  වෙනුවෙන් සියළු සැලසුම් කි‍්‍රයාත්මක බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

සමස්ථ ව්‍යාපෘතීන් කි‍්‍රයාත්මක කිරීම සඳහා අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන සේම හවුල්කාර ව්‍යාපෘති පාර්ශව 14 ක් සම්බන්ධ වේ.

යම්කිසි ව්‍යාපෘතියකින් බලපෑමකට ලක්වන ප‍්‍රජාව හෝ දේපළ සඳහා වන්දි ගෙවීමේ යාන්ත‍්‍රණයක් පිහිටුවා තිබීම සහ ඉන් ආවරණය නොවන බලපෑමට ලක්වන ප‍්‍රජාව සඳහා හිමිකම් තක්සේරු කමිටුවක් පිහිටුවා තිබීම ද විශේෂත්වයක් වේ. සෑම සංවර්ධන ව්‍යාපෘතියක්ම කි‍්‍රයාත්මක කිරීමේදී සහභාගීත්වය සංවර්ධනයක් අත්‍යාවශ්‍ය බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා එය ප‍්‍රායෝගිකව ඉටුකරවා ගැනීම සඳහා ගාල්ල දිස්ති‍්‍රක්කයේ සංවර්ධන ව්‍යාපෘතීන් හා සහසම්බන්ධ දේශපාලන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන් සහ එම සංවර්ධන ව්‍යාපෘතීන්වල තොරතුරු නිවැරදිව මාධ්‍යවෙත ලබාදීමේ අරමුණින් ගාල්ල දිස්ත‍්‍රක්කය ආවරණය කරන සියළුම ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් ද සහභාගී කර ගනිමින් විශේෂ හමුවක් 21 දින ගාල්ල උණවටුන බීච් හෝටලයේදී පැවැත්විණ. ඊට සමගාමීව මොරගොඩ සහ මෝඩ ඇළ ව්‍යාපෘතීන් හි සංවර්ධන කටයුතු ආරම්භ කිරීම ද සිදු කෙරිණ.

මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු අමාත්‍ය චන්දිම වීරක්කොඩි, පාර්ලිමේන්තු මන්තී‍්‍ර ගාල්ල දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති විජේපාල හෙට්ටිආරච්චි, පළාත් අමාත්‍ය යූ.ජී.ඩී. ආරියතිලක, උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂ අනුර දසනායක ඇතුළු නිලධාරීන් ඇතූළු ප‍්‍රාදේශීය ජනමධ්‍යවේදීන් රැසක් සහභාගී වූහ.

t

o

p