චින ලංකා පොත් ප්‍රකාශකයින් දෙරටේ සංස්කෘතිය හුවමාරුව ශක්තිමත් කිරීම අගය කරනවා – අග්‍රාමාත්‍ය රනිල්

May 17, 2017

චීන ජාතික පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සහ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය එක්ව දෙරටේ සංස්කෘතික හුවමාරු වැඩසටහන් ශක්තිමත් කරලීම උදෙසා ගෙන යනු ලබන වැඩ පිළිවෙල අගය කරන බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

වික්‍රමසිංහ මහතා ඒ අදහස් පළ කළේ 16 වන දා පෙරවරුවේ බෙයිජිං නුවර දී චීන ජාතික පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සාමාජික සාමාජිකාවන් සමග පැවැත්වූ විශේෂ සාකච්ඡාවක දීය.

දෙරටේ පොත් ප්‍රකාශකයින්ගේ සංගම් අතර පැවැත්වෙන හුවමාරු වැඩසටහන් යටතේ සිංහල පොත් ගණනාවක් චීන භාෂාවට පරිවර්තනය කර ඇති අතර, චීන පොත් ගණනාවක් ද සිංහල භාෂාවට පරිවර්තනය කර ප්‍රකාශයට පත් කර තිබේ.

මෙහිදී චීන ජාතික පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති සූ ෂ ශඣ මහතා පෙන්වා දුන්නේ සම්පත් බණ්ඩාර විසින් සම්පාදිත රනිල් වික්‍රමසිංහ චරිතාපදානය චීන භාෂාවට පරිවර්තනය කොට ප්‍රකාශයට පත් කිරීමට දැන් සියළු කටයුතු සම්පාදනය කර ඇති බවය.

Ranil-and-book-publisher1

මේ ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ නූතන ඉතිහාසය පිළිබිඹු කරන්නක් හා ආසියාවේ පරිණත දේශපාලනඥයෙකුගේ ගමන් මගෙහි අත්දැකීම් හෙළි කරන්නක් බැවින්, චීන පාඨකයින්ට එය අතිශය වැදගත් වන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති යී ෂියැන්ලියැං (YI Xianliang) මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

ෂියැන්ලියැං මහතා වැඩි දුරටත් සඳහන් කළේ ‘එක් තීරයක් – එක් මාවතක්’ මහ සමුළුවේ ඒකාබද්ධ නිවේදනය ඔස්සේ ද රටවල් අතර සංස්කෘතික සබඳතාවන්ට මුල් පෙළේ ස්ථානයක් ලබා දී ඇති බවය. තම තානාපති අරමුදලින් වැඩි මුදලක් වෙන් කර ඇත්තේ සංස්කෘතික සබඳතා වර්ධනය කරලීමේ ව්‍යයාමයන්ට බව ද ෂියැන්ලියැං මහතා පෙන්වා දුන්නේය.

Ranil-and-book-publisher2

චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතා අදහස් දක්වමින්, චීන ජාතික පොත් ප්‍රකාශක සංගමය දෙරටේ පොත් ප්‍රකාශනයට අමතරව, පුහුණු වැඩසටහන් ගණනාවක් ද ක්‍රියාත්මක කර ඇති බව පෙන්වා දුන්නේය. මෙම වැඩ පිළිවෙල තව තවත් පුළුල් කරලීම සඳහා තානාපති කාර්යාලය උපරිම සහය ලබා දෙන බව ද කොඩිතුවක්කු මහතා සිහිපත් කළේය.

චීන ජාතික පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සාමාජික සාමාජිකාවන් විසින් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණ කීපයක් ද ප්‍රදානය කෙරිණි.

බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ ප්‍රධානී මහාචාර්ය මා ෂොන්ග්වු මහතා සිංහල බසින් නිර්මාණය කරන ලද ‘මකර පුරාවත’ ග්‍රන්ථය අග්‍රාමාත්‍යතුමන් වෙත පිරිනැමීම ද මෙහිදී සිදු කෙරිණි.

Ranil-and-book-publisher3

විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම්, නීතිය හා සාමය සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රධානී ශානි කල්‍යාණරත්න, අග්‍රාමාත්‍ය විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට එක්වී සිටියහ.

t

o

p